වියළි කලාපයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යට‌තේ වැව් 260ක් ප්‍රතිංසස්කරණයට පියවර

කරම්පයිමදු වැව

වර්ෂාපතනයේ වෙනස්වීම්, නියඟය සහ අධික වර්ෂාපතනය වැනි දේශගුණික අවදානම් හමුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සුරක්ෂිත කර ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) යටතේ ගම්වැව් 260ක් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් වැව්  66ක කටයුතු සාර්ථකව අවසන් කර තිබේ.

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) යටතේ කුරුණෑගල, පුත්තලම, මාතලේ, අනුරාධපුරය, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක හය ආවරණය කරමින් ගොවි පවුල් 40,000කට පමණ ප්‍රතිලාභ සැලසීමට සැලසුම් කර තිබේ.

වියළි කලාපයේ කෘෂිකර්මාන්තය සඳහා ගම්වැව් සහ එල්ලංගා ජල කළමනාකරණ පද්ධතිවලට හිමිවන්නේ සුවිශේෂී වැදගත්කමකි. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ එක් වැවක් හුදෙකලා යටිතල පහසුකමක් ලෙස නොසලකා, එය සම්බන්ධ වන එල්ලංගා ජල කළමනාකරණ පද්ධතියක් ලෙස සලකා කටයුතු කිරීමයි. මල්වතු ඔය, මී ඔය සහ දැදුරු ඔය ගංගා ද්‍රෝණි ආශ්‍රිත මෙම වැව් පද්ධති හරහා ජලය රඳවා ගැනීම, වාරි ජලය කාර්යක්ෂමව භාවිත කිරීම සහ දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන කෘෂිකාර්මික පද්ධතියක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

කුරුණෑගල, පුත්තලම, මාතලේ, අනුරාධපුරය, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැව් 260ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භකර තිබේ.

වැව් ප්‍රතිසංස්කරණය සමඟ ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කෙරෙහිද අවධානය යොමු කර ඇති අතර, හෙක්ටයාර් 834ක ප්‍රදේශයක සංරක්ෂණ කටයුතු සැලසුම් කර තිබේ. එමෙන්ම කිලෝමීටර් 266ක ගොවි හා ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම සඳහාද කටයුතු සිදුකරමින් පවතී.

මේ අනුව SARP යටතේ වැව් 260ක් ප්‍රතිසංස්කරණය කිරීම හුදෙක් වාරි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමකට සීමා නොවී, ජල සුරක්ෂිතතාව, එල්ලංගා පද්ධති සංරක්ෂණය, කෘෂිකාර්මික නිෂ්පාදනය සහ ගොවි ජීවනෝපාය එකිනෙකට සම්බන්ධ කරන ඒකාබද්ධ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට කැමති ගොවි මහත්ම මහත්මීන් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) අමතා 011 2770986 දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website