කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ ජාතික වැඩසටහනේ නව අදියර අනුරාධපුර තලාවෙන් ඇරඹේ

නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයෙන් ගොවීන්ගේ අස්වැන්න වැඩිදියුණු කිරීම හා ජල කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගත් කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක්  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පහළ තලාව වැව 420 එස්.ඩී. 01 හා 02 ගොවි සංවිධානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ දුම්බර හරිත සවිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙල, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට දුම්බර හරිත සවිය වැඩසටහනේ ජාතික වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය, කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ඉංජිනේරු එස්. කේ. හේවාගම, තලාව ප්‍රාදේශීය ලේකම් සන්දීපනී බෙම්මුල්ලගේ, දුම්බර හරිත සවිය වැඩසටහනේ නා-උල කලාප කළමනාකරු කලණ විජේතිලක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගොවි නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

මෙම ආදර්ශ ව්‍යාපෘතිය යටතේ කුඹුරු අක්කර 40ක පමණ භූමි ප්‍රමාණයක ලියැදි ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ හරහා කෘෂිකාර්මික කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම, නවීන යන්ත්‍රෝපකරණ භාවිතය පහසු කිරීම, ජල කළමනාකරණය විධිමත් කිරීම සහ නිෂ්පාදන වියදම් අවම කිරීම අපේක්ෂා කෙරේ.

එමෙන්ම, මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ ගොවි පවුල් 500කට ආසන්න සංඛ්‍යාවකට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ හිමිවන අතර රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ගොවීන්ගේ ආදායම් ඉහළ නැංවීම සහ නවීන, තිරසාර කෘෂිකර්මාන්තයක් බිහිකිරීමේ ජාතික වැඩපිළිවෙළට මෙම වැඩසටහන වැදගත් පියවරක් වනු ඇතැයි ද මෙහිදී අවධාරණය කෙරිණි.

සටහන – අනුත්තරා ඒකනායක – මාධ්‍ය නිලධාරි -මහවැලි උපදේශන කාර්‍යංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website