2026.09.03 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා පොලිසියේ 160 වැනි සංවත්සරය නිමිත්තෙන් ප්‍රථම වරට සංවිධානය කළ “පොලිස් පාපැදි සවාරිය – 2026” සැප්තැම්බර් මස 01, 02 සහ 03 යන දිනයන්හිදී පැවැත්වීමට පොලිස් මූලස්ථානය විසින් සියළු කටයුතු සංවිධානය කර ඇත.
නීතිය හා සාමය සුරැකීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා තරුණ ප්‍රජාව අතර විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීමත් තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කර ගැනීම සඳහා ප්රචාරණක කටයුතු සිදුකිරීමත් මෙම පාපැදි සවාරියේ ප්රමුඛ අරමුණ වේ.
තරඟකරුවන් සඳහා අදියර තුනක් යටතේ පැවැත්වෙන මෙම පාපැදි සවාරිය ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සුදුසුකම් ලත් පාපැදි විනිසුරුවන් විසින් මෙය විනිශ්චය හා මෙහෙයවීම සිදු කරනු ලබයි.
අදියර 01 (කොළඹ සිට දඹුල්ල දක්වා)
2026.09.01 දින උදෑසන 07.30 ට පොලිස් මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වන අතර කොළඹ, පෑළියගොඩ, නිට්ටඹුව, වරකාපොළ, කුරුණෑගල, මැල්සිරිපුර හරහා දඹුල්ල නගරය දක්වා ගමන් කරනු ලබයි. (අනුමාන දුර කිලෝමීටර් 145 යි)
මෙම තරඟය අවසන් වන දඹුල්ල නගරයේදී තරඟකරුවන් සඳහා ත්‍යාග පිරිනැමීම මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි.
අදියර 02 (දඹුල්ල සිට අනුරාධපුරය හරහා පුත්තලම දක්වා)
2026.09.02 දින උදෑසන 07.30 ට දඹුල්ල නගරයේ පොලිස් ස්ථානය අසලින් ආරම්භ කර මරදන්කඩවල, තිරප්පනේ, අනුරාධපුරය, නොච්චියාගම, කලාඔය හරහා පුත්තලම නගරය දක්වා ගමන් කරනු ලබයි. (අනුමාන දුර කිලෝමීටර් 140 යි)
මෙම තරඟය අවසන් වන පුත්තලම නගරයේදී තරඟකරුවන් සඳහා ත්‍යාග පිරිනැමීම වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි.
අදියර 03 (පුත්තලම සිට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය දක්වා)
2026.09.03 දින උදෑසන 08.00 ට පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වී හලාවත, මාරවිල, මීගමුව, ජා ඇළ, කොළඹ, පෑළියගොඩ,ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, BMICH හරහා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය දක්වා ගමන් කරනු ලබයි. (අනුමාන දුර කිලෝමීටර් 130 යි)
මෙම තරඟය අවසන් වන බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී තරඟකරුවන් සඳහා ත්‍යාග පිරිනැමීම පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරයි.
මෙම තරඟයේදී
- සමස්ත තරගයේ අඩුම කාලය හිමි ශූරයා
- ස්ප්‍රින්ට් ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින ශූරයා
- හොඳම නැගී එන ක්‍රීඩකයා (White / best Young Rider) වයස අවුරුදු 23 න් පහළ හොඳම සමස්ත කාලය හිමි ක්‍රීඩකයා.
තෝරා ගැනීමට නියමිත අතර සමස්ත තරඟය අවසානයේ ජයග්‍රාහකයින් ඇතුළු ඊට සහභාගි වන සියළුම ක්‍රීඩකයන්ට මුදල් ත්‍යාග, කුසලාන හා සහතිකපත් පිරිනැමීමට කටයුතු කරයි.
වැඩි විස්තර –
පොලිස් පරීක්ෂක ප්‍රභාත් විජේසිරි (කළමණාකරු පොලිස් පාපැදි) – 071 9218626
පාපැදි සවාරිය පැවැත්වෙන ප්‍රදේශ හා ගමන් මාර්ගය ආවරණය වන පරිදි සැප්තැම්බර් 01,02 සහ 03 දින විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරනු ලබන අතර තරඟකරුවන් සඳහා කිසිදු බාධාවකින් තොරව තරඟයේ යෙදීම සඳහා අවශ්‍ය සහයෝගය හා දායකත්වය ලබා දෙන ලෙස දැනුම්දෙන්නෙමු.













