මහ කන්නය කලින් ආරම්භ කළොත් ඉදිරි කන්න දෙකම සාර්ථක කර ගන්න පුළුවන් – මහවැලි අධිකාරිය

මහ කන්නය කලින් සහ ප්‍රමාදයකින් තොරව ආරම්භ කළහොත් ඉදිරි වගා කන්න දෙකම දුෂ්කරතාවයකින් තොරව සාර්ථකව කළමනාකරණය කළ හැකි බව මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසීය.

මහ කන්නය කලින් ආරම්භ කිරීම මඟින් පවතින ජලයෙන් කොටසක් සංරක්ෂණය කිරීමට උපකාරී වන අතර එමඟින් ඊළඟ යල කන්නය මාර්තු 15 වන විට හෝ අප්‍රේල් මස මුලදී ආරම්භ කිරීමට ඉඩ සැලසෙන බව ඔහු පැවසීය.

පසුගිය දා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.‍

මහවැලි පද්ධතිය යටතේ ඇති ජලාශවල දැනට ඒවායේ ධාරිතාවෙන් 54%ක් පමණ අඩංගු වන බවත්, වලවේ පද්ධතියේ ජල ධාරිතාව ආසන්න වශයෙන් 57% ක් පමණ පවතින බවත් ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසීය.

“ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වර්ෂාපතනය වැඩි වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. වියළි කලාපයට දෙසැම්බර් සහ අප්‍රේල් අතර සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන බව මේ විට නිගමනය කර තිබෙනවා. ඒ අනුව, පවතින ජල සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමෙන්, මහ කන්නය වෙනදාට වඩා කලින් ආරම්භ කිරීමෙන් සහ යල කන්නය එහි සාමාන්‍ය කාලසටහනට පෙර ආරම්භ කිරීමෙන් වගා කන්න දෙකම සාර්ථක කර ගන්න පුළුවන්” ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website