ආනයනික ආලේපන හා පාවහන් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් 108ක් සිදුකර නිසි බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84කින් රුපියල් මිලියන 1.5කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (20) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම නිල නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

ආනයනික ආලේපන හා පාවහන් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් 108ක්
නිසි බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84ක් – රුපියල් මිලියන 1.5කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ නිලධාරීන් භාරයට.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 අගෝස්තු 18 සහ 19 යන දිනවල ආනයනික ආලේපන සහ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී වැටලීම් 108ක් සිදු කර ඇති අතර, ඒ අතරින් භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත්, බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84ක් ද හඳුනාගෙන ඇත.
මෙම වැටලීම්වලදී ආනයනික සම පැහැපත් කිරීමේ ආලේපන, මුහුණු හා ශරීර ආලේපන, සුවඳ විලවුන්, කේශාලේපන, ක්‍රීඩා පාවහන් සහ අනෙකුත් ආනයනික පාවහන් ඇතුළු විවිධ භාණ්ඩ පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී බිල්පත් හෝ ඉන්වොයිසි නොමැති, සැපයුම්කරු හඳුනාගත නොහැකි සහ භාණ්ඩ වෙළෙඳසැල වෙත ලැබුණු ආකාරය තහවුරු කළ නොහැකි සිදුවීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇත.
වැටලීම්වලදී රුපියල් මිලියන 1.5කට ආසන්න වෙළෙඳපොළ වටිනාකමකින් යුත් භාණ්ඩ නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අදාළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇත. ආනයනික භාණ්ඩ වෙළෙඳසැල් වෙත ලැබුණු ආකාරය තහවුරු කළ නොහැකි සිදුවීම් සම්බන්ධයෙන් සැපයුම් මාර්ගය සහ අදාළ පාර්ශ්වයන් හඳුනාගැනීම සඳහා වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදු කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මෙම විශේෂ වැටලීම්වලට අමතරව, 2026 වසරේ මේ දක්වා ක්‍රීම් හා දියර වර්ග සම්බන්ධයෙන් වැටලීම් 785ක් පමණ සිදුකර අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති විධාන අංක 83 අනුව, භාණ්ඩ විකිණීම සඳහා හෝ සන්තකයේ හෝ පාලනය යටතේ තබාගෙන සිටින අදාළ නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළෙඳුන් විසින් එම භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කළ හැකි නිසි ලේඛන සන්තකයේ තබාගත යුතුය. එම ලේඛනවල සැපයුම්කරුගේ නම හා ලිපිනය, මිලදී ගත් දිනය, මිලදී ගත් මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය සහ අදාළ අවස්ථාවල කාණ්ඩ අංකය වැනි තොරතුරු ඇතුළත් වීම මඟින් භාණ්ඩයක සැපයුම් දාමය හඳුනාගැනීමට හැකියාව ලැබේ.
මෙම නීතිමය අවශ්‍යතාවයේ අරමුණ හුදෙක් “බිල්පතක් තබාගැනීම” පමණක් නොවේ. වෙළෙඳපොළට පැමිණෙන භාණ්ඩයක සැපයුම්කරු, ආනයනකරු සහ ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන් හඳුනාගැනීමට හැකිවීම වෙළෙඳපොළ නියාමනයට සහ පාරිභෝගික ආරක්ෂාවට අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ආලේපන වැනි භාණ්ඩයක ගුණාත්මකභාවය හෝ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් අනාවරණය වුවහොත් එහි සැපයුම්කරු හෝ ආනයනකරු සොයාගැනීමට මෙවැනි ලේඛනමය තහවුරු කිරීම් ඉතා වැදගත් වේ.

මෙවැනි විශේෂ වැටලීම් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා පමණක් නොව, රටේ නීතියට අනුව නීත්‍යානුකූලව ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සඳහා ද වැදගත් වේ. නීත්‍යානුකූලව භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයන් තීරුබදු, බදු, අදාළ ගාස්තු සහ අනෙකුත් නියමිත ගෙවීම් සිදු කරමින්, නිසි ලේඛන පවත්වාගෙන යමින් සහ අදාළ නියාමන අවශ්‍යතා සපුරාලමින් ව්‍යාපාර කරන අතර, ඒ සඳහා ඔවුන්ට සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවේ.
අවිධිමත් සැපයුම් මාර්ග හරහා වෙළෙඳපොළට පැමිණෙන භාණ්ඩවල ගුණාත්මකභාවය, ප්‍රමිතිය, ආරක්ෂාව සහ නිෂ්පාදකයා හෝ ආනයනකරු තහවුරු කිරීම අපහසු විය හැකිය. අඩු ගුණාත්මක හෝ නීතිමය අවශ්‍යතා සපුරා නොමැති භාණ්ඩ අඩු මිලකට වෙළෙඳපොළට පැමිණීම පාරිභෝගිකයින්ට හානිදායක විය හැකි අතර, වගකීමෙන් හා නීත්‍යානුකූලව ව්‍යාපාර කරන ආයතනවලට ද අසාධාරණ තරගකාරී තත්ත්වයක් ඇති කළ හැකිය.
එබැවින් මෙම විශේෂ වැටලීම්වල අරමුණ හුදෙක් නඩු පැවරීම හෝ වැටලීම් සංඛ්‍යාව වැඩි කිරීම නොව, සාධාරණ වෙළෙඳ පරිසරයක් තහවුරු කිරීම, පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සහ වෙළෙඳපොළ තුළ සාධාරණ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීමයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආනයනික ආලේපන, පාවහන් සහ මෙවැනි ගැටලු පවතින අනෙකුත් තෝරාගත් භාණ්ඩ සම්බන්ධයෙන් විශේෂ වැටලීම් සහ වෙළෙඳපොළ විමර්ශන ඉදිරියේදී ද දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.















