පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අද පස්වරුවේ අපවත් වූහ. අපවත්වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසු වූහ.

ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට අමිල මෙහෙවරක් ඉටු කළ, සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු ද වූහ.

බෞද්ධ සංස්කෘතිය ආශ්‍රිත ගීත මෙන්ම විවිධ මාතෘකා යටතේ මෙරට සංගීත ලෝලීන්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගීත රැසක් උන්වහන්සේ විසින් රචනා කර ඇත.

1987 වසරේ ‘සංසාරේ අපි’ කැසට් පටයෙන් ඇරඹි උන්වහන්සේගේ ගී නිර්මාණ අතරට ‘ගම්මානේ අපි’, ‘සමනල කන්ද’, ‘සංසාරේ ගී යාතිකා’, ‘බුදු අමා වැස්ස’, ‘සංසාර චාරිකා’ වැනි කැසට් පට සහ සංයුක්ත තැටි මෙන්ම ‘සසර දනව්ව’ වැනි සම්මානනීය ගේය පද සංග්‍රහයක් ද ඇතුළත් වේ.

‘සඳකඩපහණ’ චිත්‍රපටය වෙනුවෙන් ලියූ ‘පෙර සංසාරේ’ ගීතය සඳහා සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ, ‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටය වෙනුවෙන් රචිත ‘සැඩ පහරක් සේ එකමුතු වූ දා’ ගීතය වෙනුවෙන් දෙරණ සිනමා සම්මානය ද දිනා ගත්හ.

‘සෙනෙහස පුදා’, ‘බුදු බණ ඇසුවා’, ‘මේ ප්‍රේම කතා’, ‘අව්වට වැස්සට හුරු මිනිසුන්නේ’, ‘වෙහෙරක් වගේ’, ‘ලා දළු බෝපත්’, ‘මේ ඉර හඳ යට’, ‘සඳ තරු මල්’, ‘බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති’, ‘පන්සලේ පල්ලියේ’ සහ ‘සියක් ආයු ලැබ’ වැනි උන් වහන්සේ විසින් රචනා කළ ජනප්‍රිය ගීත අතර වේ.

1950 වසරේ මැයි 22 වැනිදා දෙණියාය රඹුකන ප්‍රදේශයේදී ලියනගේ සයිමන් සහ සෝබනහාමි ලියනගේ යුවළට දාව උපත ලද උන්වහන්සේගේ ගිහි නම ආනන්ද ලියනගේ නම් විය.

1963 වසරේ ජූලි 22 වැනිදා වැලිව ගංගාතිලක විහාරස්ථානයේදී “රඹුකන සිද්ධාර්ථ” නමින් පැවිදි බිමට අවතීර්ණ වූ උන්වහන්සේ, 1972 වසරේදී මහනුවර මල්වතු මහාවිහාර උපෝසථාගාරයේදී උපසම්පදා ලැබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website