කතෝලික සභාව සමඟ සාකච්ඡාවක්

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සම සහාපතිත්වයෙන් කතෝලික සභාව සමඟ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ‌පැවැත්විණ.

රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය සඳහා ගුරු කාර්යය මණ්ඩලය සම්බන්ධ ක්‍රමවේදයක් සකස් කිරීම, ගුරු වෘත්තීය සඳහා කතෝලික පූජක සොහොයුරියන් සහ පියතුමන්ලා බඳවා ගැනීම සම්බන්ධ වත්මන් ප්‍රගතිය විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි.

එමෙන්ම, රජයට පවරා ගත් පාසල්වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබදවද සාකච්ඡා විය.

මෙහිදී අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සඳහන් කළේ වසරකට තෙවරක් කතෝලික සභාව සමඟ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධව කතෝලික සභාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය ස්තූතිය පළ කරන බවයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති හානිය සම්බන්ධව රජය තවදුරටත් සොයා බැලිය යුතු බවද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙහිදී පැවසූහ.

කිසිදු භේදයකින් තොරව සියලු සිසුන්ට තමන්ගේ ආගම ඉගෙනීමට තිබෙන අවස්ථාව තහවුරු කර ගැනීම තම අභිලාෂය බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන තත්ත්වය නිරාකරණය කරගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

කතෝලික සභාවේ සාමාජිකයන් වන රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා, අතිඋතුම් විමල් සිරි ජයසූරිය, රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා යන පියතුමන්ලා සහ කතෝලික සභාවේ සෙසු සාමාජික පියතුමන්ලාද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්. ඒ. නීලිකා පෙරේරා (පාසල් කටයුතු) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website