
මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු (Security Stickers) ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම හා පිරිවැය ඵලදායී කිරීමේ අවශ්‍යතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධ කරුණු විමර්ශනයට ලක් කෙරිණි.
මෙම කාරක සභා රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, විජේසිරි බස්නායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගී විය.
මෙහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදයේ පිරිවැය, තාක්ෂණික ප්‍රමිතීන් සහ රජයට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව කමිටුවේ දීර්ඝ අවධානය යොමු විය. 2016 අයවැය යෝජනා අනුව බදු නොගෙවන ලද මත්පැන් භාවිතය අවම කිරීම, සුරාබදු ආදායම තව දුරටත් සුරක්ෂිත කිරීම හා ව්‍යාජ මත්පැන් වැළැක්වීමේ අරමුණින් හඳුන්වා දුන් මෙම ක්‍රමවේදයේ කොන්ත්‍රාත්තුව 2017 වසරේදී ඉන්දීය සමාගමක් වන Madras Security Printers (MSP) වෙත ලබා දී ඇති බව කමිටුව හමුවේ අනාවරණය විය.
අධිවේගී මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලීන්හි භෞතික ස්ටිකර් භාවිතයේ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් 2021 වසරේදී ඩිජිටල් (Inkjet) කේත මුද්‍රණයට අවසර ලබා දී ඇති අතර, මුද්‍රිත කඩදාසි ස්ටිකර් දහසක් සඳහා ගෙවන ඇමෙරිකානු ඩොලර් 5.99ක මුදලම ඩිජිටල් කේත මුද්‍රණය සඳහා ද ගෙවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය. බෝතල් කිරීමේ කම්හල්වල ස්ටිකර් මුද්‍රණ යන්ත්‍ර සඳහා වන මූලික යටිතල පහසුකම් පිරිවැය සැලකිල්ලට ගත යුතු වුව ද, සාමාන්‍යයෙන් ඩිජිටල් ස්ටිකරයකට, කඩදාසි ස්ටිකරයට වඩා අඩු පිරිවැයක් දැරීමට ඉඩ ඇත. මෙම පිරිවැය ක්‍රමවේදය සහ රජයට ලැබෙන ප්‍රතිලාභ නැවත සලකා බැලීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.
එමෙන්ම, ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය සඳහා ජාත්‍යන්තර ISO ප්‍රමිතීන් ප්‍රමාණවත් ලෙස යොදා ගැනීම, මත්පැන් නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදන ගලා යෑම නිරීක්ෂණය කිරීම සඳහා Track and Trace ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ ජංගම යෙදුමක් මගින් නිෂ්පාදන සත්‍යතාව තහවුරු කර ගැනීමේ පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය.
නව ටෙන්ඩර් ක්‍රියාවලියේදී මිල සමඟ ගුණාත්මකභාවය, දත්ත ආරක්ෂාව සහ තාක්ෂණික ප්‍රමිතීන් සලකා බැලිය යුතු බවත්, ව්‍යාජ ස්ටිකර් සහ අනුකරණ වැළැක්වීම සඳහා තාක්ෂණික දැනුම සහිත නිලධාරීන් ටෙන්ඩර් ඇගයීම් සඳහා සම්බන්ධ කරගත යුතු බවත් කමිටුව අවධාරණය කළේය.
අනෙකුත් රටවල අනුගමනය කරන ක්‍රමවේද( global best practices) පිලිබඳ සොයා බලා වාර්තාවක් සකස් කර කමිටුවට ඉදිරිපත් කළ යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලදී.
මේ අතර, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති නව රෙගුලාසි පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. 2026 ජූලි 10 දිනැති අංක 2496/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම රෙගුලාසි මගින් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති අතර, වගකීම් සහගත වෙළෙඳාම සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූල නීතිමය රාමුවක් ශක්තිමත් කිරීම එහි අරමුණ වේ. අදාළ ගැසට් පත්‍රය, පනතේ 20 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. බලහත්කාරී ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන්, 2026 ජූලි 23 දින අවසන් කරන ලද එක්සත් ජනපදයේ ‘301 වගන්තිය’ (Section 301) යටතේ ක්‍රියාත්මක බලහත්කාරී ශ්‍රමය ආශ්‍රිත තීරුබදු පියවරවලදී, ශ්‍රී ලංකාවට මුලින් නියමිතව තිබූ 12.5%ක මට්ටම වෙනුවට පහළම, වඩාත් වාසිදායක 10%ක කාණ්ඩයට ඇතුළත් වීමට හැකි විය.
තවද, 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, 1998 අංක 12 දරන පනතින් ස්ථාපිත කර 2019 අංක 15 දරන පනතින් සංශෝධනය කරන ලද එම අරමුදල, වර්තමාන සන්ධර්භයට නොගැළපීම, දුර්වල කාර්යසාධනය සහ වත්කම් ඌණ උපයෝජනය හේතුවෙන් මෙම අරමුදල විසුරුවා හැරීමට තීරණය කර ඇති බව සඳහන් විය. අරමුදල වසා දැමීමෙන් පසුව එමගින් ලබාදුන් අත්‍යවශ්‍ය සේවාවන් කම්කරු අමාත්‍යාංශය හරහා අඛණ්ඩව පවත්වාගෙන යමින්, වෙනම ආයතනික ව්‍යුහයක් පවත්වාගෙන යාමට වැයවන පිරිවැය ඉතිරි කර රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට අපේක්ෂා කරන බව ද කමිටුව හමුවේ නිලධාරීහු පැහැදිලි කළහ.















