අටපිරිකරක් මිලදී ගන්නවාද? මිලදී ගැනීමට පෙර මේ කරුණු අනිවාර්යයෙන් බලන්න

අටපිරිකරක් මිල දී ගැනීමේ දී එහි බාහිර පෙනුම, ඇසුරුම හෝ මිල පමණක් බලා තීරණය කරන්න එපා. ඔබ ගෙවන මුදලට නිසි තත්ත්වයේ, නිවැරදි හා සම්පූර්ණ පිරිකරක් ලැබෙනවාද යන්න තහවුරු කරගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් අධිකාරියේ ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

අටපිරිකරක් මිලදී ගැනීමේදී එහි බාහිර පෙනුම, ඇසුරුම හෝ මිල පමණක් බලා තීරණය කරන්න එපා. ඔබ ගෙවන මුදලට නිසි තත්ත්වයේ, නිවැරදි හා සම්පූර්ණ පිරිකරක් ලැබෙනවාද යන්න තහවුරු කරගන්න.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති 2015.06.11 දිනැති අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ Direction No. 55 අනුව අටපිරිකර සහ අදාළ පිරිකර භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කළ යුතුය.

මිලදී ගැනීමට පෙර පහත තොරතුරු තිබේදැයි බලන්න. 👇

  • උපරිම සිල්ලර මිල (MRP)
  • නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ නම
  • ලිපිනය
  • දුරකථන අංකය
  • නිෂ්පාදිත දිනය

මෙම නියමයන් තනිපට සිවුර, දෙපට සිවුර, අඳනකඩය, පාත්‍රය සහ බඳපටිය වැනි පිරිකර භාණ්ඩ සඳහාද වැදගත් වේ.

මේ තොරතුරු නැති අටපිරිකරක් හෝ පිරිකරක් ගැන දෙවරක් සිතන්න.

නිෂ්පාදකයා හෝ ආනයනකරු කවුද, භාණ්ඩය නිෂ්පාදනය කළේ කවදාද, වගකීම දරන්නේ කවුද යන්න හඳුනාගත නොහැකි භාණ්ඩයක මූලාශ්‍රය සහ අපේක්ෂිත ගුණාත්මකභාවය පිළිබඳ විශ්වාසය තහවුරු කරගැනීම අපහසු විය හැකියි.

එබැවින් වෙළෙන්දාගෙන් අහන්න:

  • “මේ අටපිරිකර ලබාදුන් සැපයුම්කරු/නිෂ්පාදකයා කවුද?”
  • “ඔබ එම සැපයුම්කරු හඳුනනවාද?”
  • “මෙහි ඇතුළත් භාණ්ඩවල ගුණාත්මකභාවය ගැන ඔබට තහවුරු කළ හැකිද?”
  • “අටපිරිකර ඇතුළේ තිබෙන භාණ්ඩ මිලදී ගැනීමට පෙර බලන්න පුළුවන්ද?”

හැකි නම් සීල් කළ ඇසුරුමක් පමණක් බලා මිලදී නොගන්න.

අටපිරිකර තුළ ඇතුළත් කර ඇති භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඔබ ඉදිරියේ පරීක්ෂා කර බලන්න. එසේ නැත්නම්, ඔබ තෝරාගන්නා පිරිකර භාණ්ඩ ඔබ ඉදිරියේ අසුරා ලබාදෙන ලෙස වෙළෙන්දාගෙන් ඉල්ලා සිටින්න.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ පරීක්ෂණවලදී අටපිරිකර විවෘත කර බැලීමෙන්,

  • දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම,
  • අටපිරිකරට අදාළ කොටස් සම්පූර්ණයෙන් නොතිබීම,
  • මළ බැඳුණු දැලිපිහි ඇතුළත් කර තිබීම,
  • තැලී ගිය පාත්‍ර ඇතුළත් කර තිබීම

වැනි තත්ත්වද අනාවරණය වී ඇත.

අටපිරිකරක් යනු පිටත ඇසුරුමක් පමණක් නොවේ. එහි වටිනාකම තීරණය වන්නේ ඇතුළත ඇති භාණ්ඩවල නිවැරදිභාවය, සම්පූර්ණභාවය සහ ගුණාත්මකභාවය මතයි.

මිලදී ගැනීමෙන් පසු බිල්පත/රිසිට්පත ලබාගෙන සුරක්ෂිතව තබාගන්න.

නියමිත තොරතුරු නොමැති, සැක සහිත හෝ පාරිභෝගිකයා නොමඟ යවන ආකාරයෙන් අලෙවි කරන අටපිරිකර හා පිරිකර භාණ්ඩ පිළිබඳව කාර්යාල වේලාවන් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දෙන්න.

📞 පාරිභෝගික පැමිණිලි හා තොරතුරු – 1977

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website