අටපිරිකර සම්බන්ධ සියලු පාර්ශ්වයන් වෙත පාරිභෝගික අධිකාරියෙන් විශේෂ දැනුවත් කිරීමක්

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

📢

අටපිරිකර හා පිරිකර භාණ්ඩ නිෂ්පාදනය කරන, ආනයනය කරන, සපයන, බෙදාහරින හෝ අලෙවි කරන ඔබ, වෙළෙඳපොළට නිකුත් කරන භාණ්ඩ අදාළ නීතිමය අවශ්‍යතාවලට අනුකූලද යන්න තහවුරු කරගැනීම ඉතා වැදගත් වේ.

2015.06.11 දිනැති අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධාන අංක 55 (Direction No. 55) අනුව අටපිරිකර සහ අදාළ පිරිකර භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර තිබිය යුතුය.

විශේෂයෙන්, උපරිම සිල්ලර මිල (MRP), නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ නිෂ්පාදිත දිනය නිසි පරිදි සඳහන් කර තිබේද යන්න වෙළෙඳපොළට නිකුත් කිරීමට, බෙදාහැරීමට හෝ අලෙවියට තැබීමට පෙර පරීක්ෂා කර තහවුරු කරගන්න.

මෙය අටපිරිකර පමණක් නොව තනිපට සිවුර, දෙපට සිවුර, අඳනකඩය, පාත්‍රය සහ බඳපටිය වැනි අදාළ පිරිකර භාණ්ඩ සම්බන්ධයෙන්ද වැදගත් වේ.

ඔබ විසින් වෙළෙඳපොළට හෝ වෙළෙඳුන් වෙත සපයන අටපිරිකර හා පිරිකර භාණ්ඩවල නියමිත තොරතුරු නිවැරදිව සඳහන් කර තිබේද යන්න තහවුරු කරගන්න. භාණ්ඩයේ මූලාශ්‍රය හඳුනාගත හැකි ආකාරයෙන් නිසි බිල්පත්, ඉන්වොයිසි සහ අනෙකුත් අදාළ වෙළෙඳ ලේඛන පවත්වාගෙන යන්න.

සීල් කළ හෝ පෙර ඇසුරුම් කළ අටපිරිකර වෙළෙඳපොළට සපයන්නේ නම්, ඒවා තුළ ඇත්තේ කුමන භාණ්ඩද, නියමිත භාණ්ඩ සම්පූර්ණයෙන් ඇතුළත්ද සහ ඒවා නිසි තත්ත්වයේද යන්න පිළිබඳවද සැලකිලිමත් වන්න. නීතිමය අවශ්‍යතා සපුරා නොමැති හෝ තත්ත්වය පිළිබඳව තහවුරු කරගත නොහැකි භාණ්ඩ වෙළෙඳපොළට සැපයීමෙන් වළකින්න.

“සැපයුම්කරු දුන්නා, ඒ නිසා මම විකිණුවා” යන්න මත පමණක් විශ්වාසය තබන්න එපා.

ඔබේ සැපයුම්කරු හෝ නිෂ්පාදකයා සැබෑ හා හඳුනාගත හැකි පාර්ශ්වයක්ද? ඔහුගේ නම, ලිපිනය සහ දුරකථන අංකය නිවැරදිද? ඔබ ලබාගන්නා අටපිරිකරවල ඇතුළත් භාණ්ඩවල තත්ත්වය පිළිබඳ ඔබ දැනුවත්ද? යන්න තහවුරු කරගන්න.

සැපයුම්කරුවන් විසින් නිසි බිල්පත්/ඉන්වොයිසි නිකුත් කරන්න. වෙළෙඳුන් විසින් ඒවා ලබාගෙන සුරක්ෂිතව තබාගන්න. භාණ්ඩ නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ සිට සැපයුම්කරු/බෙදාහරින්නා හරහා වෙළෙඳුන් වෙත පැමිණි ආකාරය හඳුනාගත හැකි නිසි වාර්තා පවත්වාගෙන යාම වගකීම් සහගත වෙළෙඳ ක්‍රමවේදයකි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ පරීක්ෂණවලදී දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරේ කොටස් සම්පූර්ණයෙන් නොතිබීම, මළ බැඳුණු දැලිපිහි ඇතුළත් කර තිබීම සහ තැලී ගිය පාත්‍ර ඇතුළත් කර තිබීම වැනි තත්ත්වද අනාවරණය වී ඇත.

එබැවින් “මම නිෂ්පාදනය කළේ නැහැ”, “මම ඇසුරුම් කළේ නැහැ” හෝ “මට සැපයුම්කරුගෙන් ලැබුණේ මේ ආකාරයටයි” යන කරුණු මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකර, තමන් නිෂ්පාදනය කරන, ආනයනය කරන, සපයන, බෙදාහරින හෝ අලෙවි කරන භාණ්ඩ පිළිබඳ සෑම පාර්ශ්වයක්ම නිසි අවධානය යොමු කරන්න.

පාරිභෝගිකයා ඉල්ලා සිටින අවස්ථාවක, හැකි පරිදි අදාළ භාණ්ඩ පෙන්වා ඒවා පාරිභෝගිකයා ඉදිරියේ අසුරා ලබාදීම වඩාත් විනිවිදභාවයෙන් යුතු සහ විශ්වාසදායක වෙළෙඳ ක්‍රමවේදයකි.

අටපිරිකර හා පිරිකර යනු ආගමික හා සංස්කෘතික වටිනාකමක් සහිත භාණ්ඩ වේ. එබැවින් නිෂ්පාදකයාගේ සිට අවසාන වෙළෙඳුන් දක්වා සමස්ත සැපයුම් දාමයම පාරිභෝගිකයාගේ විශ්වාසය ආරක්ෂා කරමින්, නීතියට අනුකූල හා නිසි තත්ත්වයේ භාණ්ඩ වෙළෙඳපොළට ලබාදීමට වගකීමෙන් කටයුතු කළ යුතුය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අටපිරිකර හා පිරිකර සම්බන්ධ වෙළෙඳපොළ පරීක්ෂණ සහ වැටලීම් අඛණ්ඩව සිදු කරනු ලබන අතර, අනාවරණය වන නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ නීතිමය පියවර ගනු ලැබේ.

නීතිය දැනගන්න — මූලාශ්‍රය තහවුරු කරගන්න — තොගය පරීක්ෂා කරන්න — නිසි බිල්පත් නිකුත් කරන්න/ලබාගන්න — වගකීමෙන් සපයන්න — වගකීමෙන් අලෙවි කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website