Self-Love: බොහෝ දෙනෙක් නොදන්න සහ ඇතැම් අය වරදා තේරුම් ගත් ජීවිතයේ වැදගත්ම දේ…

එහෙම නෙවෙයි අනේ හරිම Self-Love කරන විදිහ. එහෙනම් මොකක්ද? මේ Self-Love කියන්නෙ කොහොමද? හරියටම ඒ දේ කරන්නෙ, එන්න අද අපි ඒ ගැන කතා කරමු.

Self-Love කියන්නෙ තමන්ගෙ සැබෑ ස්වරූපය පිළිඅරගෙන එයට ආදරය කිරීමයි. ඒ තමා හරිම Self-Love කරන විදිහ. ඔයා ඔයාගෙ සැබෑ ස්වරූපය පිළිගන්න සූදානම් නම් ඔයාට පුළුවන් වෙනවා අතීතයේ ඔයාගෙ අතින් සිදු වුණ වැරදි වලට ඔයාටම සමාව දෙන්න සමාව දීල ආදරෙන් ඔයා දිහා බලන්න ඔයාට පුළුවන් හැකියාවක් ලැබෙනවා.

උදාහරණයක් විදිහට  අපි හිතමු කෙනෙක් ඉන්නවා එයා තෝර ගන්නවා උ/පෙළ සඳහා ගණිතය කරන්න. නමුත් එයා දෙසැරයක්ම උත්සහ කළත් එයාට බැරි වෙනවා එයා හිතන තරම් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. එතකොට එයාට එයා ගැන කළකිරීමක් ඇති වෙනවා. ඊට පස්සෙ එයා හිතන්න පෙළඹෙනව මං මොකට මේ දේ කළා ද මන්ද, මට තිබ්බෙ වෙන විෂයක් තෝර ගන්න, මං හරිම මෝඩ වැඩක් කළේ යනා දී ලෙස එයා එයාවම පහත් කරල කතා කරන තත්ත්වෙකට පත්වෙනවා නම්, එයාටම දොස් නඟා ගන්න තත්ත්වෙකට පෙළ‍ඹෙනව නම් අන්න එතනදි එයා තුළ Self-Love කියන දේ නැති වෙනවා.

ඒ වගේ තත්ත්වෙකදි කරන්න ඕනේ තමන් තමන්ව පහත් කොට සලකා තමන්ටම දොස් පවරා ගැනීම නෙවෙයි. හරි මට මං හිතපු තරම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට බැරි වුණා තමයි කියන දේ මුලින්ම පිළිගන්න ඕනේ. ඒ දේ පිළිනොගන්න තාක්කල් අපිට අපි දිහා ආදරෙන් බලන්න පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ. ඊට පස්සෙ තමන්ගෙන් සිදු වුණ වැරදි අඩුපාඩු මොනවාද කියල අවබෝධ  කර ගන්න ඕනේ. ඒ සියල්ලත් එක්කම තමන් හිතන්න ඕනේ හරි මං දැන් ඉන්නෙ මේ වගේ තත්ත්වෙක මගෙ අතින් මේ මේ විදිහෙ වැරදි අඩුපාඩු වුණා නමුත් මං ඒ සියල්ල වෙනුවෙන් මං මටම සමාව දෙනවාය කියන තත්ත්වෙට කෙනෙක්ට හිතන්න පුළුවන් නම් එතැන් පටන් එයාට හැකි වෙනවා තමන් දිහා ආදරනේ සහ කරුණාවෙන් බලන්න. එතනින් තමයි කෙනෙක්ට පුළුවන් වෙන්නෙ නිවැරදිව තමන්ට ආදරය කරන්න පටන් ගන්න. ඒක තමයි Self-Love වල අරම්භය.

මං කිව්වනෙ ඔයා ඔයාට ආදරේ කරන්න නම් මුලින්ම ඔයා ඔයාව පිළිඅරගෙන ඔයා ඔයාට සමාව දෙන්න ඕනෙ කියල. ඊට පස්සෙ ඔයාට තේරැම් යයි ඔයා මෙච්චර කාලයක් ගොඩාක් අමාරුවෙන් දරා ගෙන හිටපු යම්කිසි වේදනාවල් තියෙනවා නම් ඒ දේවල් ගොඩාක් දුරට Release වෙලා ඔයාව Relax වුණා කියල.

හදවත හිස් වුණාම පුළුවන් අලුත් විදිහකට නැවුම් විදිහකට තමන්ට තමන්ව දකින්න සහ තමන්ට ආදරය කරන්න. ඔයා ඔයාට ආදරය කරන්න ඕනෙ මෙහෙමයි, ඔයා කෙනෙක්ට ආදරය කරන කොට ඔයා එයා වෙනුවෙන් මොනවද කරන්නේ…, ඇත්තටම අවංකවම කෙනෙක්ට ආදරේ කරන කොට අපි එයා වෙනුවෙන් මොනවද නොකරන්නෙ නේද ?

  • ඔයා එයාට ඔයාගෙ කාලය දෙනවා
  • ඔයා එයාට මානසිකව සැනසීමක් වෙනවා
  • එයාගේ හිත රිද්දන්නෙ නැහැ
  • එයාගේ සෞඛ්‍ය ගැන හිතනවා
  • ඔයා එයා වෙනුවෙන් එයා ආස දේවල් කරනවා
  • එයා කැමති විදිහට ජීවත් වෙනවා
  • එයාගේ දියුණුව වෙනුවෙන් කැපවෙනවා
  • එයාට හැම අතින්ම උදව් කරනවා

ඉතින් මේ විදිහට ගොඩක් දේවල් ඔයා එයා වෙනුවෙන් කරනවනේ. තමන් තමන්ට ආදරය කිරීම එහෙමත් නැත්නම් Self-love කියන එක ඇතුලේ මේ දේවල් ඔයා ඔයාටම කරන්න පටන් ගන්න ඕනේ. බහුතරයක් මිනිස්සු මුළු ලෝකෙටම ආදරේ කරනවා ඒත් එයාලා හැමදාම ඉන්නෙ පීඩනයෙන් දුකෙන්. මං ලෝකෙට කොයි තරම් ආදරණීය කෙනෙක් වුණත්, මං කොයිතරම් ආදරය දුන්නත් ඇයි මට සැනසීමක් නැත්තෙ කියල.

එහෙම වෙන්නෙ ඒ ඇයි දන්නවද? එයාල උත්සහ කරනවා මුලු ලෝකෙටම ආදරය කරන්න, නමුත් ඇත්තටම එතන වෙන්නෙ එයාල කොයිතරම් උත්සහ කළත් එයාල තුළින් හරි ආදරයක් එළියට එන්නෙ නැති එක. ඒකට හේතුව වෙන්නෙ එයාල තමන්ව අමතක කරල තමන්ට හරියට ආදරය නොකළ නිසා. එහෙම වුණාම අනිත් අයට එයාලගෙ ආදරේ හරියට දැනෙන්නෙ නෑ. අපි ලෝකයට දෙන්නෙ අපි තුළ තියෙන දේනේ. අපි ළඟ නැති දේවල් අපිට ලෝකයට දෙන්න බෑ නේ. ඉතිං අපි තුළ හරියට දෙයක් නැත්නම් තියෙන්නේ අඩුවෙන් නම් අපි ලෝකයට දෙන්නෙත් ඒ අඩුවම තමා. තමන්ටවත් හරියට ආදරය කර ගන්න බැරි මිනිහෙක් හෝ වේවා ගෑණියෙක් හෝ වේවා කොහොමද කියන්නකො තව කෙනෙක්ට, ලෝකයට හරියට ආදරය කරන්නේ. ඒ නිසා ඔයා ඔයාට ගෞරව කරන්න. කායිකව, මානසිකව, ආධ්‍යාත්මිකව ඔයා ඔයාව බලා ගන්න. ඔයාගේ සුවය ගැන හිතන්න. ඒක ආත්මාර්ථකාමී වීමක් නෙමෙයි.

ඔයා ගැන හිතන්න නම්, ඔයා ඔයාට ටිකක් කාලය දෙන්න ඕනෙ. ඒ කියන්නෙ සතියට එක සැරයක් හරි ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න. එතකොට ඔයාට කරන්න පුළුවන් දේවල් තමා,

  • ඔයා කැමති කෑමක් බීමක් තනිවම නිදහසේ කොහෙට හරි ගිහින් කාල බීල සතුටු වෙන්න.
  • Salon එකට ගිහින් ලස්සන cut එකකට කොන්ඩෙ රැවුල කපල පිළිවෙලට ඉන්න.
  • ලස්සනට අඳින්න, ඇඳුම් පැළඳුම් ගැන අවධානය දෙන්න.
  • නාල එහෙම පිරිසිදුවට ඉන්න. මල පෙරේතයො වගේ ඉන්නෙ නැතුව.
  • ඔයාගේ පෙනුම ලස්සනට බලාගන්න. ඔයාගේ කොණ්ඩෙ සම ගැන ටිකක් හිතන්න.
  • වෙලාවක් තිබ්බොත් ව්‍යායාම කරන්න.
  • ඔයාගෙ දියුණුව වෙනුවෙන් ඉදිරියට වැඩ පිළිවෙලක් හදන්න
  • හැමදේටම වඩා වැදගත් හොඳ කෑම බීම කන බොන එක. මොකද අපි නීරෝගීව ජීවත් වෙන එක තීරණය වෙන්නෙ අපි නිතරම අපේ ඇඟ ඇතුළට ගන්න දේවල් මත කියල ඔයා දන්නවනෙ. තමන්ට ආදරය කරන මිනිස්සු තමන්ගෙ ඇඟ ඇතුළට වස විස ගන්නෙ නෑ නේ. ඒ නිසා වැඩිපුර හොඳ ඒ දේවල් කන්න බොන්න උත්සහ කරන්න.
  • ඊට අමතරව මොන දේ කරන්නත් ඔලුව හොඳින් තියා ගන්න එපැයි. ඒ කියන්නෙ මානසික නිදහස. ඒක තමයි මනුස්සයෙක්ගෙ ජීවිතේ වැදගත්ම දේ. මොන දේවල් තිබ්බත් රජෙක් වුණත් වැඩක් තියෙයි ද අනේ ඔලුවට නිදහසක් නැත්නම්. අන්න ඒ නිසා කොයි තරම් busy වුණත්
  • කිසිම වැඩක් නොකර නිදහසේ ටිකක් වෙලා ගත කරන්න බලන්න.
  • ඔයාට අවශ්‍ය ප්‍රමාණයට Rest එකක් ගන්න.
  • ප්‍රමාණවත් තරම් හොඳ නින්දක් ලබා ගන්න.
  • නිදහසේ කැමති සිංදුවක් අහන්න.
  • ආස තැනක තනියම ඇවිදින්න.
  • ඔයාගේ හැඟීම් තේරුම් ගන්න.
  • ඔයාගෙ ජීවිතය ගැන ටිකක් තනියම කල්පනා කරල බලන්න.

වැදගත්ම දේ හැමදාම බුදුන් වඳින්න. Meditation කරන්න. ඒ මුකුත්ම බැරි නම් සතියකට සැරයක් හරි, එහෙම බැරි නම් අඩුම තරමෙ මාසෙකට සැරයක් හරි පන්සලකට, පල්ලියකට ගිහින් බුදුන්ට දෙයියන්ට  වඳින්න. තනියම බෝ ගහක් යටට වෙලා ටිකක් ඉදල බලන්නකො කොයි තරම් නම් සැනසීමක් ද  ඒක කියල. Spiritual දේවල් වලින් තමා ගොඩක් හොඳින්ම පුළුවන් කෙනෙක්ගෙ මනසයි හිතයි Heal කරන්න. ඒක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ.

ඔන්න ඔය විදිහට පටන් ගන්න තමන්ට ආදරය කරන්න. ඔය විදිහට ටික දවසක් කරද්දි ඔයා ගැනම ලොකු සතුටක් ඔයාට ඇති වෙයි. ඒ සතුට තවත් වැඩි වෙන්නෙ ඔයා ඔයාගෙ ජීවිතයට එකතු කර ගන්න වටිනාකම් නිසා.

  • තමන්ගෙ ජීවිතේ ඉන්න කවුරුම හරි කෙනෙක් Toxic නම්, අතහරින්න පුළුවන් නම් ඒ අයව අතහරින්න. එහෙම බැරිම නම් පුළුවන් තරම් ඈතින් තියන් ආශ්‍රය කරන්න බලන්න.
  • Positive විදිහට හැම වෙලාවෙම ජීවිතය දිහා බලන්න.
  • පුංචි පුංචි නීති තමන්ව පරිස්සම් කිරීම වෙනුවෙන් එකතු කරගන්න.
  • ඕනෑම තීරණයක් ගන්න කලින් ඉස්සෙල්ලම තමන්ගේ ජීවිතයට, තමන්ට ඒකෙන් හොඳක් වෙනව ද කියන දේ ගැන හොඳට හිතල බලල තීරණ ගන්න.
  • අනුන් වෙනුවෙන් යහපත් දේවල් කරන්න නමුත් අනුන් වෙනුවෙන් තමන් වලේ වැටෙන්න එපා. එහෙම වලේ වැටෙන දේවල් කරන්න යන්න එපා. තමන්ට ආදරෙයි නම් තමන් තමන්ව පරිස්සම් කරගන්න පුරුදු වෙන්න ඕනෙ. ඒ නිසා ඔයා ඔයාවම පරිස්සම් කරගන්න.
  • ඔයාගේ ජීවිතයට කාටවත් සීමාව පැනගෙන බලපෑම් කරන්න ඉඩ දෙන්න එපා. ඔයාව අනවශ්‍ය විදිහට පීඩනයට පත් කරන්න අනවශ්‍ය විදිහට පාලනය කරන්න දෙන්නත් එපා. නෑ , බෑ , කියන්න  ප්‍රතික්ෂේප කරන්න ඉගෙන ගන්න. තමන් වෙනුවෙන් කතා කරන්න ඉගෙන ගන්න. තවත් කෙනෙක් හිටියත් නැතත් ඔයා ඔයා වෙනුවෙන් නැඟී සිටින්න. තමන්ගෙ ජීවිතය අයිති තමන්ට. ඒ ජිවිතේ සියලු වගකීම් දැරිය යුත්තෙත් තමන්මයි. එහෙම නම් වෙනත් කාටවත් තමන්ගෙ ජීවිතේ පාලනය දෙන්න එපා.

ජීවිතේ හැම මොහොතක්ම විඳින්න ඕනෙ. ඒ නිසා ජීවිතේ කොයිම වෙලාවකවත් රේස් එකක් කර ගන්න එපා. මොකද එතකොට තමන්ට තනියම ජීවිතේ විඳින්න කාලයක් වෙලාවක් නැති වෙනවා. ඔයා ඕනෙ නම් උපරිම තව අවුරුදු 50ක් ඉඳීවි නේ. සමහර විට එච්චර කල් ඉන්න එකකුත් නැතිවෙයි නේද අනේ. ඔයාට ගොඩක් කල් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනෙ කියල ප්‍රාර්ථනා කරනවා, ඒත් ඉතිං අපි හරියටම දන්නෙ නෑ නේ එහෙම වෙයිම ද කියල. ඉතිං ඒ ඉන්න ටික කාලේ උපරිම ජීවිතේ විඳින්න නම් මුලින්ම තමන් තමන්ට ආදරය කරන්න. එතකොට නිකන්ම තමන් බලාපොරොත්තු වෙන අනෙක් දේවල් වලිනුත් තමන්ට ජීවිතේ විඳින්න අවස්ථාව මාර්ගය පෑදෙයි.

තමන් තමන්ට ආදරේ කරද්දී , විශ්වය පවා ඔයා වෙනුවෙන් තෑගි එවනවා !! ! මොකද ඔයාගේ වයිබ්‍රේෂන් එක මේ නිසා ඉහලට යනවා. එතකොට ඔයා ආකර්ෂණය කර ගන්නෙත් හොඳම දේවල්. එතකොට තමා ලෝකෙටත් ඒ විදිහට කරන්න ඔයාට පුළුවන් වෙන්නෙ.

කොහොම වුණත් මං නම් කෙනෙක්ට දෙයක් ගැන කියන්නෙ ඒ දේ මාත් කරල අත් විඳල තියෙනව නම් පමණයි. මේ වෙනකොටත් ඔයා ඔයාට ආදරය කරනව නම් ඔයා තුළ self-love තියෙනවා නම් ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. එහෙම නැත්නම් බල කිරීමක් නෑ ඔයා කැමති නම් මේ දේවල් කරල බලන්න. අපිට කාවවත් වෙනස් කරන්න ඕනෙ නෑ. අපිට එහෙම මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ මෙයා. මිනිස්සු තමන්ම හිතල තමන් තුළින්ම වෙනසක්, වර්ධනක් ඇති කර ගන්න ඕනෙ.  

මොහොකත් නතර වෙන්න! ඔබ ඔබ ලෙසම ඔබව ආදරෙන් වැළඳ ගන්න. ඔයාට ලොකු සැනසීමක් දැනෙයි ළමයෝ.

මම, ආදර රශ්මිණී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website