කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය, උපකරණ භාවිත කිරීම සහ ලේ පරීක්ෂණවලට වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධයෙන් කෑගල්ල පෞද්ගලික රෝහලකට අධිකරණය විසින් රුපියල් 520,000ක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (09) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම නිල නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ කෑගල්ල, කොළඹ පාරේ පිහිටි “කැන්ඩෙලා හොස්පිටල් (Candella Hospital Pvt Ltd)” පෞද්ගලික රෝහලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබුණා.
- ලේ පරීක්ෂණ සඳහා වැඩිපුර මුදල් අය කිරීම: FBC (Full Blood Count) රුධිර පරීක්ෂණයක් සඳහා පාරිභෝගික අධිකාරිය පනවා ඇති රු. 400/- ක පාලන මිල ඉක්මවා රු. 500/- ක මුදලක් අය කිරීම.
- කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය ළඟ තබා ගැනීම: රෝහල් රසායනාගාරය තුළ කල් ඉකුත් වූ HCV Rapid Test Cassettes ඇසුරුම් 20ක් සහ Clinical System Analyzers සඳහා වන කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය (System Cleaning Solution & Acid Solution) ගබඩා කර තිබීම.
- කල් ඉකුත් වූ එන්නත් කටු (Needles) විකිණීමට තැබීම: රෝහල් ඖෂධ වෙළෙඳසැල තුළ අලෙවිය සඳහා වූ අනෙකුත් භාණ්ඩ සමඟ කල් ඉකුත් වූ UNOLOK Single use HYPERMIC Needles ඇසුරුම් 23ක් විකිණීමට තබා තිබීම.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් 2026.07.24 වන දින සිදුකළ විශේෂ වැටලීමකදී මෙම ක්‍රියාකාරකම් අනාවරණය කර ගන්නා ලදී.
2026 අගෝස්තු 06 වන දින මෙම නඩුව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, එල්ල වූ චෝදනා 03ටම විත්තිකාර රෝහල් ආයතනය වරද පිළිගත් අතර, එහිදී ගරු අධිකරණය විසින් රුපියල් 520,000/- ක දඩ මුදලක් නියම කිරීමට පියවර ගන්නා ලදී.
📞 මහජනතාවගේ සෞඛ්‍යයට හානියක් වන පරිදි කල් ඉකුත් වූ ඖෂධ හෝ රසායනික ද්‍රව්‍ය හා උපකරණ භාවිත කරන, පාලන මිල ඉක්මවා ගාස්තු අය කරන පෞද්ගලික රෝහල් සහ රසායනාගාර පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන්න.














