දූෂණ විරෝධි පනතට සංශෝධන ගෙන ආ යුත්තේ දැනට බලාත්මක පනත දුර්වල නොවන ආකාරයටයි – සාධාරණ සමාජය

දූෂණ විරෝධි පනතට සංශෝධන ගෙන ආ යුත්තේ දැනට බලාත්මක පනත දුර්වල නොවන ආකාරයට බව සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් අද (06) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සහන් වන්නේ  දූෂණ විරෝධි පනතට යෝජනා කර ඇති නව සංශෝධන දූෂණයට එරෙහිව රට තුළ ගොඩනැඟී ඇති මහජන මතයට පිටුපෑමක් වනවා මෙන් ම දූෂණයට එරෙහිව රටක් ලෙස තහවුරු කරගෙන පවත්නා නීතී දුර්වල  කිරීමක් ලෙස ද සැලකිය හැකි  බවයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

දූෂණ විරෝධි පනතට සංශෝධන ගෙන ආ යුත්තේ දැනට බලාත්මක පනත දුර්වල නොවන ආකාරයටය.

දූෂණ විරෝධි පනතට යෝජනා කර ඇති නව සංශෝධන දූෂණයට එරෙහිව රට තුළ ගොඩනැඟී ඇති මහජන මතයට පිටුපෑමක් වනවා මෙන් ම දූෂණයට එරෙහිව රටක් ලෙස තහවුරු කරගෙන පවත්නා නීතී දුර්වල  කිරීමක් ලෙස ද සැලකිය හැකි ය.

අප මේ පිළිබඳව සමස්ත සමාජයේ ම සැළකිල්ලට යොමු කරන්නේ 2023 වසරේදි දූෂණ විරෝධි පනත ගෙන ඒ්මට ක්‍රියාකාරීව කටයුතු කරන ලද එක් පාර්ශ්වයක් වශයෙනි. එදා එකී පනත සම්මත කරගන්නා ලද්දේ සමාජයේ සියළුම කොටස්වල දැඩි ඉල්ලිම්වලට ද ගරු කිරීමක් වශයෙනි. එබැවින් එයට පිටු නොපෑම රටේ වගකිව යුතු සෑම පාර්ශ්වයකම කාර්ය භාරයකි.

යෝජිත නව සංශෝධන යටතේ 2023 අංක 09 දරන දූෂණ විරෝධි පනතෙහි වගන්ති 18ක් සංශෝධනය කිරිමට සැළසුම් කර තිබේ. ඒ් අතරින් ඇතැම් සංශෝධන සිංහල භාෂාවෙන් යුතු පනතෙහි දෝෂ නිවැරදි කිරීමේ අරමුණින් සිදු කරනවා විය හැකි අතර ඇතැම් සංශෝධන මඟින් පැහැදිලි කිරීම් හා නිශ්චිත කිරීම් සිදු කර තිබේ. ඒ් අතර බරපතල ලෙස අවධානයට ලක් විය යුතු සංශෝධන තුනක් පවති.

  • කොමිසම් සභාවේ වෙබ් අඩවියේ පළ කරනු ලබන වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ගන්නා පුද්ගලයෙකුට ඊට අදාළ පැමිණිලි කිරීම හැර වෙනත් කාර්යයකට එනම් මාධ්‍ය හරහා පළ කිරීම හෝ බෙදාහැරීම වරදක් ලෙස හඳුන්වා දීම.
  • ප්‍රකාශය ලබාදෙන පුද්ගලයා සමඟ සහවාසයෙන් ජීවත්වන තැනැත්තෙකුගේ විස්තර වත්කම් බැරකම් ප්‍රකාශයෙන් ඉවත් කිරීම.
  • රජයේ හෝ රජයේ සංස්ථාවක 25% නොඅඩු කොටස් පවතින පුද්ගලික සමාගමක සභාපතිවරු, අධ්‍යක්ෂවරු සහ මාණ්ඩලික නිළධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ වගකීම රජයේ හෝ රජයේ සංස්ථාවක 50%කට නොඅඩු ලෙස වැඩි කිරීම මඟින් රාජ්‍ය කොටස් හිමි පුද්ගලික සමාගම් රැසක ඉහළ තනතුරු දරන්නන් ඇතැමෙක්ගෙ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ වගකීමෙන් මුදවාලීම.

මෙම සංශෝධන තුන සැළකීමේ දී එයින් පළමුවැන්න සංශෝධනය කිරීමට අදහස් කරන බව ගරු සභානායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර ඇතැයි වාර්තා වේ. එය යහපත් තත්ත්වයකි. එසේ වුවත් අනෙකුත් සංශෝධන දෙක මඟින්ම ද දැනට බලාත්මක පනතේ ශක්තිමත්භාවය දුර්වල කරනා බවක් පැහැදිලිවම පෙනී යයි. එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප රජයට යෝජනා කරන්නේ මෙම සංශෝධන පිළිබඳව සිවිල් සමාජයේ අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනිමින් මුල් පනතේ අභිප්‍රායන්ට හානි නොවන ආකාරයට අවශ්‍ය සංශෝධන ගෙන එන ලෙසට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website