පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මඟින් සිදුකරනු ලබන Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවන් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පනවා ඇති පාලන මිල (උපරිම ගාස්තුව රු. 400/-) ඉක්මවා මුදල් අය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති විධාන අංක 67 උල්ලංඝනය කළ වවුනියාව, රෝහල් පාරේ පිහිටි “අබිෂා හොස්පිට්ල් (Abisha Hospital Pvt Ltd)” ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වවුනියාව දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් වවුනියාව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026.07.14 දින සිදුකළ විශේෂ වැටලීමකදී, රුපියල් 400/- ක පාලන මිල පැවති FBC පරීක්ෂාවක් සඳහා මෙම රෝහල මඟින් රුපියල් 550/- ක මුදලක් අය කිරීමේ චෝදනාව අනාවරණය කරගනු ලැබුවා.
මෙම නඩුව 2026.07.28 වන දින වවුනියාව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගරු අධිකරණය විසින් විත්තිකාර රෝහල් සමාගමට රුපියල් 500,000/- (ලක්ෂ පහක) දඩ මුදලක් නියම කිරීමට පියවර ගත්තා.
පාරිභෝගිකයින් සූරාකමින් පාලන මිල ඉක්මවා ගාස්තු අය කරන පෞද්ගලික රෝහල් හෝ රසායනාගාර පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.















