අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ආනයන පෙර ගෙවීම් (Advance Payments) සම්බන්ධ නව රෙගුලාසි පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව්වේදී සලකා අනුමත කෙරුණු, භාණ්ඩ ආනයනය නොකර පෙර ගෙවීම් මගින් විදේශ විනිමය රටින් පිටතට ගලායාම වැළැක්වීම, ආනයන ගනුදෙනු අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය අවභාවිතයන් පාලනය කිරීම එහි අරමුණ බව සඳහන් විය.
නව රෙගුලාසි අනුව පෙර ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ “සුදුසුකම් ලත් ආනයනකරුවන්” ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, සෑම ගනුදෙනුවක් සඳහාම බැංකු මගින් Unique Identification Number (UIN) ලබාදී එම තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තා කළ යුතු වේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් (ජූලි 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.















