ඩොලර් මිලියන 700කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව COPF දැඩි අවධානය

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer – TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 සහ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදන මගින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි  සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම විමර්ශනය යටතේ සමාගම් 105ක්, බැංකු ගිණුම් 227ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක් හරහා සිදුකර ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි. TT ක්‍රමය මගින් මුදල් යවා තිබුණද අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති අවස්ථා මෙන්ම ව්‍යාජ ඉන්වොයිසි, ආනයන ලේඛන සහ සමාගම් භාවිත කළ අවස්ථාද විමර්ශනවලදී හඳුනාගෙන ඇති බව සඳහන් විය.

අනීතික විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින බාධා, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවේ පවතින අඩුපාඩු සහ බැංකුවල පාරිභෝගික අනන්‍යතාව තහවුරු කිරීමේ (Know Your Customer – KYC) ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.

කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී නීතිගරුක ව්‍යවසායකයන්ට අනවශ්‍ය අපහසුතා ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.  නව රෙගුලාසි වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය වන ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කළේය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website