බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව 2006 අංක 27 දරන දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ අධිකාරි පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.
අද (17) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ 2016 වසරේ සැප්තැම්බර් මාස නිකුත් කළ ගැසට් පත්‍රයේ පළමු උපලේඛනය අනුව මෙරට තුළ දුම් රහිත දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.
බුලත්විට අලෙවිය තහනම් කරන නීතියක් මෙරට තුළ නොමැති බව කී උපුල් රෝහණ මහතා ජනතාව මුඛ පිළිකාවෙන් ආරක්ෂා කිරීමට සම්මත කරගත් නීතියක් පවතින බව ද පැවසුවේය.
දුම් සහිත දුම්කොළ අලෙවියට නීතියෙන් අවසර ලබාදී ඇති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
දුම්කොළ සහ මධ්‍යසාර ජාතික අධිකාර පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමක් කළහොත් රුපියල් 2000ක දඩයක් හෝ මාස හයක සිරදඬුවමක් නියම කළ හැකි බව පෙන්වා දුන් ඔහු මෙරට ඇති සංස්කෘතිකමය කාරණා හේතුවෙන් අදාළ පනත යටතේ මේ දක්වා ඍජුව නීතිය ක්‍රියාත්මක නොකළ බවත් දැනුවත් කිරීම පමණක් සිදු කළ බවත් පැවසුවේය.
මහජනතාවට නිවැරදිවීමට ප්‍රමාණවත් කාලයක් ලබා දුන් බැවින් ඉදිරියේදී අදාළ නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ඔහු දැඩි අවධාරණය කළේය.
වාර්ෂිකව මෙරටින් මුඛ පිළිකා රෝගීන් 1750ත් 1900ත් අතර පිරිසක් වාර්තා වන බවත් ඒ හේතුවෙන් මෙම නීතිය යළිත් සක්‍රීය කර ජනතාව අදාළ රෝගී තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීම මහජන පරීක්ෂකවරුන් අපේක්ෂා කරන බවත් උපුල් රෝහණ මහතා පැවසුවේය.















