76 වසරක් පුරා වර්ධනය වූ ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට අපි තිරසාර පියවර ගන්නවා – සුසන්ත කුමාර නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගය

අපේ ගොවි ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙන ගැටලු ගණනාවක් තිබෙනවා. මේ ගැටලු අතර ඔවුන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි ඉඩම් හිඟය. ඉඩම් හිඟය, ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලු වැනි ගැටලු ගණනාවක් මේ ප්‍රශ්නය සමඟ බැඳී තිබෙනවා. ඒ වගේම ඉඩමේ අයිතිය ඇති ගොවීන් වගේම අනවසරයෙන් කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයක් බුක්ති විඳින ජනතාවක් ඉන්නවා. තමන්ට වගා කිරීමට නිරවුල් ඉඩමක් නොමැති වීම දීර්ඝ කාලයක් තිස්සේ අපේ ගොවි ජනතාව මුහුණ පාන ගැටලුවක්. මේ ගැටලු විසඳීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මේ වන විට පියවර ගනිමින් සිටිනවා.

අපේ ගොවීන් මුහුණ දෙන ගැටලු අතර තවත් තීරණාත්මක ගැටලුවක් ලෙස ජලය සම්බන්ධ ගැටලු සහ අභියෝග අපි හඳුනා ගෙන තිබෙනවා. අපේ රටට නිරිතදිග සහ ඊසාන දිග යනුවෙන් ප්‍රධාන වර්ෂා ඍතු දෙකක් සහ අන්තර් මෝසම් 01 සහ 02 යනුවෙන් තවත් වර්ෂාපතන ඍතු දෙකක් තිබෙනවා. මේ අනුව අපේ රටට ප්‍රමාණවත් වර්ෂාවක් ලැබුණත් වියළි කලාපයට ප්‍රමාණවත් වර්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෝසම් වර්ෂාවෙන් ලැබෙන ජලය ඉතාම අරපරිස්සමෙන් භාවිතා කිරීමේ වගකීම සහ අභියෝගය අපේ ගොවි ජනතාව හමුවේ තිබෙනවා. ඒ වගේම තමයි මහා වාරි යටතේ යල – මහ වැඩ කරන්න පුළුවන් වුණාට සුළු වාරි යටතේ යල – මහ වැඩ කරන්න හැම පළාතකම බැහැ. ඒ නිසා අහසින් වැටෙන වර්ෂාව හරියට කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් අපේ වාරි පද්ධතිය මේ වන විට නවීකරණය සහ ප්‍රතිසංස්කරණයට භාජනය වෙමින් තිබෙනවා. ගොවියෙක් සහ ගොවි සංවිධාන නායකයෙක් ලෙස වැව් ටික, ඇළ වේලී ටික නිවැරදිව නවීකරණය සහ ප්‍රතිසංස්කරණය කරලා අපේ ගොවි ජනතාවට භාරදීමේ වගකීම අපි හඳුනා ගෙන තිබෙනවා. ඒ වගේම ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් අපේ ආණ්ඩුව, කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශය නව ව්‍යාපෘති සහ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ‘වාරි මහිම’ ව්‍යාපෘතිය මේ වෙනුවෙන් ඉතාම සාර්ථක ලෙස මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ජල කළමනාකරණය සම්බන්ධයෙන් අපේ ගොවි ජනතාවටත් විශාල වගකීමක් වගේම වගවීමක් තිබෙන බව මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. අපි දකිනවා ඇතැම් ස්ථානවල ගොවි ජනතාව ඉතාම කාර්යක්ෂමව ජලය පරිහරණය කරනවා. නමුත් ඇතැම් ස්ථානවල එවැනි කාර්යක්ෂම, ඵලදායී තත්ත්වයක් නැහැ. ඒකට ගොවීන්ට දොස් කියන්නත් බැහැ. ඇළ වේලී නිසි පරිදි ප්‍රතිසංස්කරණය නොවීම, නඩත්තු නොකිරීම ආදි ගැටලු රැසක් දීර්ඝ කාලයක් තිස්සේ තිබෙනවා. ඒ ගැටලු කඩිනමින් විසඳා ගැනීමට අපි මේ වන විට පියවර ගනිමින් සිටිනවා.

ඒ වගේම වගාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක බීජ සපයා ගැනීමේ ගැටලුවක් ද අපේ ගොවි ජනතාවට තිබෙනවා. වී ගොවියා, එළවළු ගොවියා, සුළු අපනයන බෝග වගා කරන ගොවියා ඇතුළු සියලුම ගොවීන් මේ ගැටලුවට මුහුණ දෙන බව අපි හඳුනා ගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් යුත් බීජ ලබා දෙන්න පුළුවන් නම් සැලකිය යුතු ලෙස අස්වැන්න වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස වී වගාවේ අස්වැන්න 10%ක පමණ ප්‍රතිශතයකින් වැඩි කර ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ගැටලුවට විසඳුමක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ‘යාය’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන හරහා ඉඩම් කාර්යක්ෂතාව ඉහළ දැමීම, ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම ආදි නිර්ණායක 11ක් යටතේ කටයුතු කරනවා. ගොවි නායකයෙක් ලෙස සහ ආණ්ඩුවක් ලෙස අපේ දැක්ම වන්නේ අපේ ගොවි ජනතාවට වගාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු බීජ ලබාදිය යුතුයි, ඒ වගේම ඒවා සාධාරණ මිලකට ලබාදිය යුතුයි.

ඔබ දන්නවා අපේ ගොවි ජනතාව කොපමණ වෙහෙස මහන්සි වී වගා කළත් අවසානයේ අස්වැන්න අලෙවිකර ගැනීමට යන විට නිමක් නැති දුක් ගැහැට වලට මුහුණ දෙනවා. ඉතිහාසය පුරාම ඔවුන් සාධාරණ මිලක් ලැබුණේ නැහැ. නමුත් කාල පරාසයන් අනුව ලැබෙන මිල වෙනස් වෙන්න පුළුවන්, අස්වනු හානි වෙන්න පුළුවන්. ඒ අනුව මිල ගණන් දෝලනය වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවක් ලෙස අපේ ස්ථාවරය තමයි ගොවි ජනතාවට ඔවුන්ගේ නිෂ්පාදන වෙනුවෙන් සාධාරණ මිලක් ලැබිය යුතුයි.

වී මිල සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගැටලුවක් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය කාලය පුරා මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා කිලෝවක් රුපියල් 130ටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 140ටත් මිලදී ගන්න සූදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම ජූලි 13 වැනිදායින් පස්සේ, ගොයම් කැපෙන ප්‍රමුඛතාව අනුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කරලා වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීමට සූදානම් කරලා තිබෙනවා.  නමුත් අපට  සමස්ත අස්වැන්න මිලදී ගැනීමේ හැකියාවක් නැති බව පිළිගත යුතුයි. වී අලෙවි මණ්ඩලයට මිලදී ගන්න පුළුවන් සමස්ත අස්වැන්නෙන් 03-05%ක් අතර ප්‍රමාණයක් පමණයි. ඒ වගේම තවත් වැදගත් කරුණක් සිහිපත් කළ යුතුයි. 2024 දී අපි ආණ්ඩුව ගන්න කොට වී අලෙවි මණ්ඩලයක් තිබුණේ නැහැ. නමුත් අපි කඩිනමින් වී ගබඩා ප්‍රතිසංස්කරණය කරමින්, නවීකරණය කරමින් කටයුතු කළා.

අපේ ගොවීන් පසුගිය කාලය පුරාම නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ගැටලුවෙන් පීඩාවට පත් වුණා. බිත්තර වී, බීජ, කෘෂි රසායන, පොහොර ඇතුළු යෙදවුම් පිරිවැය විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් ඔවුන් ගැටලු ගණනාවකට මුහුණ දුන්නා. අපේ විශ්වාසය වන්නේ කෘෂිකර්මාන්තයට අදාළ යෙදවුම් වල මිල පාලනයක් සිදුවිය යුතුයි, යම් තුලනාත්මක තත්ත්වයකට පැමිණිය යුතුයි. ඒ වගේම බීජ, පොහොර, කෘෂි රසායන ආදි කෘෂි යෙදවුම් වල මිල ගණන්වලට නිශ්චිතභාවයක් නැති බව අපි පසුගිය කාලය පුරාම දැක්කා. කඩ දහයකට ගියොත් මිල ගණන් දහයක් අපිට දැක ගන්න පුළුවන්. අපි මේ ගැටලුවට විසඳුම් සෙවීමට පියවර ගනිමින් සිටිනවා. කෙටි කාලීනව මේ ගැටලුවට විසඳුම් සෙවීමට නොහැකි වුණත් යම්කිසි කාලයක් තුළ මේ අභියෝගය අපි ජය ගන්නවා. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු සැලසුම් අපි මේ වන විට සකස් කර තිබෙනවා. මේ හරහා කෘෂි යෙදවුම්වල මිල ගණන් සාධාරණ සහ ස්ථාවර තත්ත්වයකට ගේන්න අපි කටයුතු කරනවා. මේ වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සතොස අලෙවිසැල්, සමූපකාර ජාලය භාවිතා කිරීම ගැන අපි සාකච්ඡා කරමින් සිටිනවා.

මෙම ගැටලු සහ අභියෝග අතර වනසත්ත්ව හානි ඉදිරියෙන්ම තිබෙනවා. වසර ගණනාවක් පුරා නොවිසඳුණු මේ ගැටලුවට, වර්ධන වුණ ගැටලුවට තිරසාර විසඳුම් සෙවීමට අපි පියවර ගන්නවා. මේකට කෙටි කාලීන, මැදි කාලීන සහ දිගු කාලීන විසඳුම් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර අපි මේ වන විටත් ගෙන තිබෙනවා.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website