මීගමුව බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමෙන් පරීක්ෂණයක්

මීගමුව බන්ධනාගාරයේ පසුගිය 05 වැනිදා සහ 06 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩත්වය සහ ඉන් පසුව අනෙකුත් බන්ධනාගාරවල සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අද (10) නිකුත් කළ නිවේදනය මේ බව සඳහන් වේ.

ගැටුම්වලට තුඩු දුන් තත්වයන්, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ සහ තුවාල සහ වධහිංසා පැමිණවීම සහ අයුතු ලෙස සැලකීම පිළිබඳ චෝදනා කෙරෙහි මෙම පරීක්ෂණයේ දී අවධානය යොමු කෙරෙන බව එම නිවේදනය සඳහන් වේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාර පහසුකම් වෙත මාරු කරන ලද රැඳවියන් දෙදෙනෙකුගේ මරණ පිළිබඳව ද තම විමර්ශනය මගින් විමර්ශනය කරන බව මානව හිමිකම් කොමිෂම පැවසීය.

කොමිසම කිසිදු නිගමනයකට එළඹ නොමැති බවත්, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රකාශ ඇතුළුව සාක්ෂි රැස් කරමින් සිටින බවත් පවසන මානව හිමිකම් කොමිෂම සිය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරන්නේ මාරු කරන ලද රැඳවියන් රඳවා සිටින බන්ධනාගාර වෙත කළ චාරිකා වලින් ලැබුණු මූලික නිරීක්ෂණවලින් හෙළි වූයේ රැඳවියන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වී ඇති බවත්ය.

තුවාල ලැබූ රැඳවියන්ට ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ක්‍රමානුකූලව ප්‍රතිකාර ප්‍රමාද වීම පළිගැනීමක් විය හැකි බවත් කොමිෂම සඳහන් කළේය.

විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ යාවත්කාලීන කිරීම් වරින් වර ප්‍රසිද්ධ ප්‍රකාශ මගින් නිකුත් කරන බව කොමිසම පැවසූ අතර, වර්ධනයන් නිවැරදිව හා වගකීමෙන් යුතුව වාර්තා කරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website