අනතුරු වැළැක්වීම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වෙන ජාතික අනතුරු නිවාරණ සතිය හෙට (06) ආරම්භ වී ජූලි 10 වන දින දක්වා පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
මෙම වැඩසටහනට මාර්ග, සේවා ස්ථානය, නිවස, දියේ ගිලීම සහ පාසල් ආශ්‍රිත අනතුරු වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරන දැනුවත් කිරීමේ ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් ඇතුළත් වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමටද නියමිතව ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන මෙම වැඩසටහන යටතේ සෑම දිනකම විශේෂ තේමාවක් යටතේ ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
ඒ අනුව හෙට දින මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්, ජූලි 07 සේවා ස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි 08 නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි 09 දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි 10 පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් නම් කර තිබේ.
මෙම සතිය තුළ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අවදානම් ස්ථාන හඳුනාගැනීමේ ක්‍රියාකාරකම්, ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් සහ අනතුරු අවම කිරීම සඳහා කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.















