නව බස් ගාස්තු ඉහළ දැමීමට හෙට සිට ක්‍රියාත්මකයි – කෙටි දුර ගාස්තු ගැන බස් සංගම් කණස්සල්ලෙන්

ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් නිවේදනය කරන ලද බස් ගාස්තු ඉහළ දැමීම හෙට (6) සිට ක්‍රියාත්මක වන අතර ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයකට අනුව රුපියල් 30ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා වැඩි කර ඇත.

කිලෝමීටර් 100 දක්වා ගමන් සඳහා ගාස්තු සියයට 12කින් ද, කිලෝමීටර් 100 ඉක්මවන ගමන් සඳහා ගාස්තු සියයට 20කින් ඉහළ යනු ඇත.

නව ගාස්තු ඉහළ දැමීම අනුව සුඛෝපභෝගී බස් රථ සඳහා කිලෝමීටර් 100 දක්වා ගමන් සඳහා ගාස්තු සියයට 12කින් වැඩි වන අතර කිලෝමීටර් 100 ට වැඩි ගමන් සඳහා සියයට 15 කින් වැඩි කෙරේ.

මේ අතර කෙටි දුර මාර්ග සඳහා සංශෝධිත ගාස්තු ගණනය කිරීම සඳහා භාවිතා කරන ක්‍රමය පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති  ගැමුණු විජේරත්න මහතා සි කණස්සල්ල පළ ක‌ළේය. නව ව්‍යුහය පසුගිය දශක දෙක තුළ භාවිතා කළ ක්‍රමයට වඩා වෙනස් දුර පාදක ගණනය කිරීම්වල වෙනස්කම් හඳුන්වා දෙන බව ඔහු පැවසීය.

සංශෝධිත රාමුව යටතේ, කෙටි දුර මිලකරණයේ සාමාන්‍යයක් මත පදනම්ව දිගු දුර ගාස්තු ගණනය කරනු ලබන බවත්, එය කෙටි දුර මිලකරණයේ නොගැලපීම් ඇති කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

“කෙටි දුර ගාස්තු ගණනය කිරීමේ දෝෂ නිසා ඉදිරියේ දී ඩීසල් මිල පහළ ගියොත් කෙටි දුර ගාස්තු අඩු කිරීමට මේ නිසා නොහැකි වෙනවා. නව ගාස්තු හෙට (06) සිට ක්‍රියාත්මක වෙනවා. මේ නව ගාස්තු හේතුවෙන් යම් යම් ගැටලු ඇති වීමට පුළුවන්. එවැනි අවස්ථාවල කොන්දොස්තරවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස අපි මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම නව ගාස්තු සංශෝධනයේ පවතින ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා” ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website