ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන හා ඖෂධ ක්ෂේත්‍රයට පකිස්තානයෙන් නව ආයෝජන සහ වෙළඳ අවස්ථා රැසක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් (Major General (R) Dr Nayyar Naseer) මහතා අතර විශේෂ නිල හමුවක් අද (03) දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේදී පැවැත්වුණි. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් වෙළඳ, ආයෝජන සහ නව ව්‍යවසායකත්ව අවස්ථා රැසක් උදාකර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහිදී ප්‍රධාන වශයෙන් ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය හරහා ශ්‍රී ලංකාව සහ පකිස්තානයේ පන්ජාබ් හා කරච්චි කලාප ආශ්‍රිතව ව්‍යවසාය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා මැණික් කර්මාන්තයේ තාක්ෂණික හුවමාරු වැඩසටහන් පැවැත්වීමටත් දෙපාර්ශවයේ එකඟතාව පළ විය. එසේම ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට අපනයනය කෙරෙන, දැනට ප්‍රමාණයෙන් අඩුවී ඇති තේ අපනයනය නැවත වර්ධනය කිරීමටත්, ලංකාවෙන් පකිස්තානය වෙත අන්නාසි සහ අලිගැටපේර අපනයනය කඩිනමින් ආරම්භ කිරීම සඳහා පවතින බාධා ඉවත් කිරීමටත් මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු විය.

මේ අතර ශ්‍රී ලංකාවේ තෝරාගත් ක්ෂේත්‍රවල අපනයනකරුවන් සහ පකිස්තාන ව්‍යාපාරිකයන් අතර සෘජු සබඳතා ගොඩනැංවීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මැදිහත් වී පකිස්තානයේදී විශේෂ ව්‍යාපාරික හමුවක් සංවිධානය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. මීට අමතරව ලංකාවේ නිෂ්පාදිත සම් භාණ්ඩ පකිස්තාන වෙළඳපොළ තුළ ප්‍රචලිත කිරීම කෙරෙහි මහ කොමසාරිස්වරයාගේ සෘජු අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පකිස්තාන ආයෝජන තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව ද දෙපාර්ශවය අතර සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණි.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වෙළඳ හා ආයෝජන අනුයුක්ත නිලධාරිනී මහ්වශ් සාමි (Ms. Mahwash Sami) මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ සහ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website