මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන ලෙස සාධාරණ සමාජය රජයෙන් ඉල්ලයි

මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

මාධ්‍ය නිවේදනය

මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන්න

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ සියළු සංවිධාන සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙස මෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ නියමය පරිදි 2026.06.05 වන දින ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තීකයන්ගේ ආයතනය පිළිබඳව පනත් කෙටුම්පත ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයෙහි අනාගතය පිළිබඳව තීරණාත්මක බලපෑමක් සිදු කළ හැකි ලේඛණයක් බව පැහැදිලි ය. එහෙත් ඒ් සඳහා ගොඩනැඟීමට අපේක්ෂා කරන ආයතනයේ ව්‍යුහය පිළිබඳව මතු වූ ගැටළු ගණනාවක් මෙන් ම එවැනි ආයතනයක් ස්ථාපිත වීම තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට මෙන් ම ස්ථාවර වී ඇති නිදහස් මාධ්‍ය සංස්කෘතියට ඇති කල හැකි බලපෑම පිළිබඳව කරුණු කාරණා රාශියක් අප කළ කතිකා සංවාදයකදී අදහස් ඉදිරිපත් වී තිබේ.

එහිදී විශේෂයෙන්ම ආයතනයේ ස්වභාවය එනම් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය  සංස්ථාපිත රාජ්‍ය ආයතනයක් (මණ්ඩලයක්) වන්නේද යන්න පිළිබඳව පැහැදිලි කරගැනීම ඉතා වැදගත් වී ඇත. එය  එසේ වන්නේ නම් එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය සමාජය අපේක්ෂා කරන ස්වාධීන ආයතනයක් නොවීම තුළ ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය සංස්කෘතියට ඇති කළ හැකිව ඇති බලපෑම ඉතා අහිතකර වනු ඇති බව අපගේ පිළිගැනීම ය.

එමෙන්ම ආයතනයේ කටයුතු කළමනාකරණය සහ පරිපාලනය සඳහා පත්කරනු ලබන අතුරු සභාව අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ අනුව පත්කිරීම තුළ ඇතිවිය හැකි තත්ත්වයන් ද අවධානය යොමුකල යුතුව තිබේ. ඒ අනුව විශේෂයෙන් ම ඒ සඳහා කර්තෘ සංසදය, විද්‍යුත් මාධ්‍ය විකාශකයන්ගේ සංගමය, පුවත්පත් ප්‍රකාශකයන්ගේ හා හිමිකරුවන්ගේ ද ඇතුළු මාධ්‍ය සංවිධානවල එකඟත්වයක් ලබාගැනීම ඉතා වැදගත් වනු ඇත.

එයට අමතරව යෝජිත ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ කෙටුම්පතෙහි සඳහන් අතුරු සභාවෙන් වසරකට අනතුරුව තහවුරු කරන පරිපාලන කමිටුවට සාමාජිකයන් තෝරාගැනීමේදී තෝරා පත්කරගන්නා සාමාජිකයන් හා පත්කරන සාමාජිකයන්ගේ සංඛ්‍යාව සැළකීමේදී පෙනෙන්නට ඇති අහිතකර තත්ත්වය හා තින්දු ගැනීමේදී ගණපූර්ණය පස්දෙනෙකුට අදාල කර තිබීම නිසා ඇතැම්විට තිදෙනෙකුගෙන් සමන්විත පිරිසකට තීන්දු ගැනීමට ලැබෙන හැකියාව තුළ ඇතිවිය හැකි අහිතකර තත්ත්වය ද සැලකිල්ලට ගතයුතුව තිබේ.

එබැවින් රටේ පොදු යහපත පිණිස කැපවෙන සංවිධානයක් ලෙස අප ඔබතුමාගෙන් ඉතාමත්ම ඔීනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අදාල සියළු පාර්ශ්වයන්හි යෝජනා හා අදහස් සැළකිල්ලට ගනිමින් එම කටයුතු සම්පූර්ණ කරන ලෙසට ය.

එමෙන් ම අත්‍යාවශ්‍යයෙන්ම සිදු කල යුතු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථම රජය දැනටමත් සූදානම් කර ඇති ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කර ඉදිරි ක්‍රියාමාර්ගවලට  පිවිසෙන ලෙසට ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

සුනිල් ජයසේක, මහලේකම්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website