ඉන්දීය ආධාර යටතේ මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක්

ඉන්දීය ආධාර යටතේ මලෛගම් ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති නිවාස 4700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම නිවාස වැඩපිළිවෙළ යටතේ ආපදා අවදානම් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගත් පවුල් වෙත නිවාස 2026ක් ලබා දීමට නියමිත අතර, සෙසු නිවාස හඳුනාගත් වතුකරයේ වැඩකරන ජනතාව වෙනුවෙන් ලබා දීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් 22ක සහ රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනවසම සහ ඇල්කඩුව යන වැවිලි සමාගම්වලට අයත් වතුවල පදිංචිව සිටින මලෛගම් ජනතාව වෙනුවෙන් නිවාස ලබා දීමට නියමිතය.

මෙම එක් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් ඉන්දීය රජය රුපියල් ලක්ෂ 28ක් සහ ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ 4ක් වෙන් කර ඇත.

නිවාස ව්‍යාපෘතියෙහි කටයුතු මේ වසර අවසන් විමට පෙර නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, නිවාස ඉදිකිරීමට යෝජිත ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙසත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සුදුසු ඉඩම් හඳුනා ගැනීමට අවශ්‍ය වාර්තාවන් ලබා දෙන ලෙසත් වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ වැවිලි මානව සංවර්ධන භාරය ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website