ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකය සමඟ සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක පරිවර්තනය ඇරඹුවා – ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය

ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකය සමඟ වඩාත් ශක්තිමත්ව සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය වූ ප්‍රධානතම ව්‍යුහාත්මක පරිවර්තනය මේ වන විට ආරම්භ කර තිබෙන බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පැවසුවේය.

පසුගිය දා මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය. තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය,

ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකය සමඟ වඩාත් ශක්තිමත්ව සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය වූ ප්‍රධානතම ව්‍යුහාත්මක පරිවර්තනය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම, මෙම වෙනස අවම වශයෙන් දශක දෙකකට පෙර සිදුවිය යුතුව තිබූ එකක්.

අපනයන ප්‍රමුඛ ආර්ථිකයක් ගොඩනැගීමට නම්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ ආර්ථික සහයෝගීතා ගිවිසුම් හරහා වඩාත් සමීපව සම්බන්ධ විය යුතුයි. ආනයන සීමාකිරීම් හා අධික ආරක්ෂණ බදු මත පදනම් වූ ආර්ථික රාමුවක් තුළ එවැනි අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම අපහසුයි. මෙම පරිවර්තනය එක් රැයකින් සිදුවන දෙයක් නොවෙයි. එය වසර හතරක පමණ කාලයක් පුරා ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන සංක්‍රාන්ති ක්‍රියාවලියක්.

ඒ අතරතුර, දේශීය කර්මාන්ත තරඟකාරී පරිසරයක සාර්ථකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආරක්ෂණ සහ ශක්තිමත් කිරීම් ද සමගාමීව ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ සඳහා ජාතික ප්‍රමිතීන් (National Standards) සංවර්ධනය හා ස්ථාපිත කිරීම, Anti-Dumping ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, සහ රේගු පද්ධතිය හරහා Backward Audit ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අපගේ අරමුණ ආරක්ෂණවාදය තුළ සිරවීම නොව දේශීය කර්මාන්ත ආරක්ෂා කරමින් ඒවා ලෝක වෙළෙඳපොළට තරඟ කළ හැකි මට්ටමට ගෙන ඒමයි. ශ්‍රී ලංකාවේ නව ආර්ථික දිශානතිය තරඟකාරීත්වය තුළින් වර්ධනය වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website