2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දිනැති අංක 2492/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය.
එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජුනි 09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමි විය.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ මුදල් ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළුව එහි කාර්යයන් ඉටු කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවට බාහිර පාර්ශ්වවලින් සංඛ්‍යාලේඛන සහ තොරතුරු රැස් කර ගැනීමට අවශ්‍ය වේ. එම සංඛ්‍යාලේඛන, තොරතුරු වාර්තාකරණයට යටත් වන පුද්ගලයන් සහ අදාළ අවශ්‍යතා උල්ලංඝනය කිරීමේදී ගත හැකි පරිපාලන ක්‍රියාමාර්ග නියම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති ඉදිරිපත් කොට තිබේ.
මෙම රීති මගින් සංඛ්‍යාලේඛන හා තොරතුරු ඉල්ලා සිටීම සඳහා නිවේදන නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ බලයලත් නිලධාරීන් වන නියෝජ්‍ය අධිපතිවරුන්ට, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට පමණක් සීමා කෙරේ.
තවද, ලබා දෙන ලද තොරතුරු අදාළ අරමුණ සඳහා පමණක් භාවිතා කිරීම ඇතුළු ආරක්ෂාකාරී පියවරයන් මෙම රීති මගින් තහවුරු කිරීම සිදු වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇතැම් රාජ්‍ය ණය දත්ත ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳව කාරක සභාවේ අවධානයට ලක් වූ අතර එවැනි තොරතුරු දැනට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සතුව පවතින බවත්, එමඟින් මින් පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ආකෘතියට අනුව ණය සංඛ්‍යාලේඛන නැවත සැකසීමේ සීමාවන් පවතින බවත්, කාරක සභාවට මෙහිදී නිරීක්ෂණය විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශන හරහා රාජ්‍ය ණය තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවත්වා ගැනීමේ වැදගත්කම කාරක සභාව විසින් පෙන්වා දුන් අතර, රජයේ සුරැකුම්පත් සඳහා වන ද්විතීයීක වෙළඳපොළට අදාළ වාර්තා ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
තවද, සංචාරකයන් විසින් භාවිතා කරනු ලබන විවිධ ගෙවීම් ක්‍රම හේතුවෙන් සංචාරක ආදායම නිවැරදිව ගණනය කිරීම අභියෝගයක් වන බවත් එවැනි ඇස්තමේන්තුවල නිරවද්‍යතාව ඉහළ නැංවීම සඳහා දත්ත රැස් කිරීමේ සමීක්ෂණ වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දිනැති අංක 2492/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති පිළිබඳව ද කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. “2026 අංක 2 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” යනුවෙන් හඳුන්වනු ලබන මෙම රීති මගින් දැනට පවත්නා අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීතිය තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.
ඒ අනුව, ඕනෑම මාසයක් තුළ අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම එකී ආදායම, අවසර ලද ගෙවීම් සඳහා පමණක් භාවිතා කොට ශේෂය එළඹෙන මාසයේ 10වන දින හෝ ඊට ප්‍රථම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු වේ. මීට පෙර 2024 වසරේ හඳුන්වාදුන් රෙගුලාසි මගින් ලබා දී තිබූ මාස 3ක කාල සීමාව මෙසේ එළඹෙන මාසයේ 10 වන දින දක්වා අඩු කර ඇත.
විනිමය අනුපාතිකයේ සහ විදේශ විනිමය වෙළඳපොලේ පවතින අස්ථාවරත්වය මෙන්ම විදේශ විනිමය ද්‍රවශීලතාවයේ හිඟකම සැලකිල්ලට ගෙන අපනයන ලැබීම්, ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා අපනයනකරුවන්ට ලබා දී ඇති කාලය අඩු කිරීම අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම පියවර මගින් වෙළඳපොළ විශ්වාසය අඩු වීම, විදේශ විනිමය වෙළඳපොළේ අස්ථාවරත්වය ඇති වීම ආදී තත්ත්වයන් ඇති විය හැකි බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මෙම පියවර, විනිමය අනුපාතිකයේ අස්ථාවරත්වය සහ වත්මන් විදේශ විනිමය සැපයුමේ හිඟය පියවා ගැනීම සඳහා කෙටිකාලීන ප්‍රතිපත්තිමය මෙවලමක් ලෙස හඳුන්වා දී ඇති බවත්, වෙළඳපොළ තත්ත්වයන් ස්ථාවර වූ පසු එය ලිහිල් කරන බවත් මහ බැංකු නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.
තවද, NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා විය. මීට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාර්ය ඇතුළු අදාළ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර මීට අදාළව සිදුවන වෝහාරික විගණනයකින් පසු එ් පිළිබඳව නැවත සළකා බැලීමටත් තීරණය විය.
















