විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) හා එක්ව 2026 ජූනි 15 වැනි දිනට යෙදුණ ජාත්‍යන්තර ගෘහ සේවක දිනය නිමිත්තෙන්, ලොව පුරා සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා ආරක්ෂාව ශක්තිමත් කිරීම, පැමිණිලි කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ සහාය සේවාවන්ට ප්‍රවේශය පහසු කිරීම අරමුණු කරගත් “LankaKonect” නමැති පැමිණිලි කළමනාකරණ යෙදවුම (Complaint Management Application) නිල වශයෙන් එළිදැක්වීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව ඒකාබද්ධව සංවර්ධනය කරන ලද “LankaKonect” ජංගම යෙදවුම, සංක්‍රමණික ශ්‍රමිකයන්ට තම සේවා රට කුමක් වුවද පැමිණිලි සහ සහාය ඉල්ලීම් ඉදිරිපත් කිරීමට, තම නඩු/පැමිණිලිවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ අත්‍යවශ්‍ය තොරතුරු හා සහාය සේවාවන් ලබා ගැනීමට පහසු, මධ්‍යගත ඩිජිටල් වේදිකාවක් සපයයි.
මෙම ජංගම යෙදවුම හරහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ තානාපති කාර්යාලයන්හි පැමිණිලි කළමනාකරණ ක්‍රියාවලීන් ඩිජිටල් ලෙස ඒකාබද්ධ කිරීම මඟින් සංක්‍රමණික ශ්‍රමික ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝකාලීනව පැවති හිඩැසක් පිරවීමට දායක වේ. මෙම ඒකාබද්ධ වේදිකාව ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින්, මධ්‍යගත නඩු කළමනාකරණය සහ නිරීක්ෂණය පහසු කරමින්, විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉදිරිපත් කරන පැමිණිලි සහ සුභසාධන ගැටලු සඳහා වඩාත් කාලෝචිත, කාර්යක්ෂම සහ සම්බන්ධීකරණය කළ ප්‍රතිචාර ලබාදීමට හැකියාව සලසයි.
මුලදී ඩිජිටල් පැමිණිලි කළමනාකරණ යාන්ත්‍රණයක් ලෙස සංකල්පනය කරන ලද “LankaKonect”, ඉන්පසු රාජ්‍ය ආයතන සහ සංවර්ධන හවුල්කරුවන් අතර පුළුල් සාකච්ඡා හරහා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා පුළුල් සේවාවන් සපයන සම්පූර්ණ ඩිජිටල් වේදිකාවක් බවට පරිවර්තනය විය. පැමිණිලි කළමනාකරණයට අමතරව, මෙම යෙදවුම මගින් රැකියා, අධ්‍යාපනික සහ පදිංචි අරමුණු සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය තොරතුරු සහ සේවාවන් වෙත ප්‍රවේශය ලබාදෙමින්, ඔවුන්ගේ සංක්‍රමණික ගමන් මාර්ගය පුරාවට රජයේ ආයතන සමඟ සම්බන්ධව සිටීමට පහසුකම් සලසයි.
Google Play Store සහ Apple App Store හරහා නොමිලේ ලබාගත හැකි “LankaKonect” ජංගම යෙදවුම එළිදැක්වීම, ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම, පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සහ නවීන හා ප්‍රවේශ විය හැකි ඩිජිටල් විසඳුම් ඔස්සේ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය සහ ගෞරවය ආරක්ෂා කිරීම පිළිබඳ රජයේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාවිසින් මෙම ජංගම යෙදවුම කොළඹදී පැවැති උත්සවයකදී, නිල වශයෙන් එළිදක්වන ලදී. එම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යගරු අරුන් හේමචන්ද්‍ර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සදහා අධ්යක්ෂ ජෝනි සිම්ප්සන් යන මහත්වරු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයෝ, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීහු, සංවර්ධන හවුල්කරුවෝ සහ අනෙකුත් පාර්ශවකරුවෝ සහභාගී වූහ. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ තානාපති කාර්යාල නියෝජිතයෝද මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අවස්ථාවට එක් වූහ.













