ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමිකයින්ගේ වර්ධනය ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කණස්සල්ල පළ කරයි

ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

සෑම වසරකම ජුනි 12 වන දිනට යෙදෙන ‘ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය’ නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද විශේෂ පණිවිඩයක මේ බව සඳහන් වේ.

මෙවර ‘ළමා ශ්‍රමිකත්වයෙන් තොර රටක්, දරුවන්ට යහපත් හෙටක්’ යන තේමාව යටතේ ‘ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය’ දිනය සමරනු ලැබේ.

එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ, “පසුගිය 2025 වසරේ පමණක් ළමා ශ්‍රමය සහ සූරාකෑම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි රාශියක් ලැබී තිබේ. ඒ අනුව, ළමා ශ්‍රමය පිළිබඳ පැමිණිලි 173ක්, යාචකකම සඳහා ළමුන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධ පැමණිලි 287ක්, ළමා ජාවාරම පිළිබඳ පැමිණිලි 53ක් සහ ලිංගික ක්‍රියාකාරකම් සඳහා අතරමැදියන් ලෙස ළමුන් භාවිතා කිරීම සම්බන්ධ පැමිණිලි 03්ක් ලැබී ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිර්වචනයට අනුව, වයස අවුරුදු 16 ට අඩු සියලුම දරුවන් අනිවාර්ය අධ්‍යාපනයට යටත් කළ යුතුය. ඔවුන් කිසිදු රැකියාවක නිරත නොවිය යුතුය. වයස අවුරුදු 16 ත් 18 ත් අතර ළමුන්ට ඔවුන්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට සහ සදාචාරාත්මක සංවර්ධනයට හානියක් නොවන රැකියාවල පමණක් යෙදවිය හැකිය. කෙසේ වෙතත්, අනතුරුදායක වැඩවල හෝ රාත්‍රී වැඩවල ඔවුන් යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

ගෘහ සේවිකාවන් ලෙස හෝ ගෘහ සේවයේ දරුවන් යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ හා සමානව, දරුවන් යාචක ලෙස යොදා ගන්නා දෙමාපියන්ට සහ අතරමැදියන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය යටතේ සිර දඬුවම් සහ දඩ නියම කිරීමට නීතියෙන් ඉඩ සැලසේ.

තවද, දරුවන් ගෘහ සේවයේ යෙදවීම, වීදි වෙළඳාමේ යෙදීම, මුදල් උපයා ගැනීම සඳහා සර්කස් සහ වෙනත් අමුතු සංදර්ශනවල යෙදීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් විකිණීමට ඔවුන් යොදා ගැනීම, සයිබර් (අන්තර්ජාල) තාක්ෂණය හරහා ගණිකා වෘත්තියේ යෙදීම සහ වාණිජ සූරාකෑමේ යෙදීම යන සියල්ල අපරාධ නීති සංග්‍රහය යටතේ බරපතල දඬුවම් ලැබිය හැකි වැරදි වේ. දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන අනතුරුදායක රැකියා 71ක් මේ වන විට හඳුනාගෙන ඇත.

දරුවන් පාසල් හැර යාම වැළැක්වීම සහ ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා අධිකාරිය විශේෂ වැඩසටහන් කිහිපයක් දියත් කර ඇත. මේ යටතේ, පාසල් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ශිෂ්‍ය නායකයින් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ජුනි 12 වන දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ. ඊට අමතරව, පාසල් ළමා ආරක්ෂක කමිටු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපතිවරුන් හරහා වසර පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website