ප්‍රජා විශේෂඥ වෛද්‍ය මීසා කාදර් – ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන

2035 වන විට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීමේ සැලසුමක් අපට තිබෙනවා. මේ ගමන සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනට තනියම යන්න බැහැ. ඒකට සියලුම පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍යයි.
- ක්ෂය රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ ජය ගැනීමට නම් ක්ෂය රෝගීන් පමණක් නොවෙයි, ක්ෂය රෝගීන් යැයි අනුමාන කරන පුද්ගලයින් ද හඳුනා ගත යුතුයි. ක්ෂය රෝගීන් යැයි අනුමාන කරන පුද්ගලයෙක් හඳුනා ගන්නේ කෙසේ ද ?
ක්ෂය රෝගීන් යැයි අනුමාන කළ හැකි පුද්ගලයින් අප අතර සිටිනවා. අපි දන්නවා ක්ෂය රෝගය මූලික වශයෙන් පෙණහැල්ල ආශ්‍රිතව වැළදෙන රෝගයක්. නමුත් වෙනත් අවයව වලටත් ක්ෂය රෝගය වැළදෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් ක්ෂය රෝගය වැළදෙන්නේ පෙණහැල්ල ආශ්‍රිතවයි.
පෙණහැල්ල ආශ්‍රිතව ක්ෂය රෝගය වැළඳී ඇති බව අනුමාන කළ හැකි පුද්ගලයින් හඳුනා ගැනීම මේ අනුව ඉතාම වැදගත්. මෙහි දී වැඩිහිටියන් සහ ළමුන් වෙන වෙනම හඳුනා ගත යුතුයි. මොකද වැඩිහිටියන් පෙන්වන රෝග ලක්ෂණ නෙමෙයි ළමුන් තුළ දකින්න ලැබෙන්නේ.
වැඩිහිටි ක්ෂය රෝගියෙක් ගත්විට ප්‍රධාන ලක්ෂණය තමයි කැස්ස. අපි කවුරුත් දන්නවා යම්කිසි පුද්ගලයෙකු තුළ සති දෙකකට වඩා කල්පවතින කැස්සක් තිබේ නම් එය බොහෝ විට ක්ෂය රෝගයේ ලක්ෂණයක් විය හැකියි. ඒ කියන්නේ ඕනෑම කැස්සක් සති දෙකකට වඩා පවතිනවා නම් ඒක ක්ෂය රෝගය වෙන්න පුළුවන්. මීට අමතරව කෑම අරුචිය, බර අඩුවීම, සවස් කාලයේ පවතින මද උණ ගතිය, රාත්‍රී කාලයට දහඩිය දැමීම ක්ෂය රෝගයත් එක්ක පහළ වන රෝග ලක්ෂණයි.
මේ ප්‍රධාන රෝග ලක්ෂණවලට අමතරව ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වෙනත් රෝග ලක්ෂණ පවතින්න පුළුවන්. උදාහරණයක් ලෙස කැස්ස සමඟ ලේ පිටවීම දක්වන්න පුළුවන්. නමුත් මේ තත්ත්වය සෑම ක්ෂය රෝගියෙකු තුළම දකින්න නැහැ, ඒක බොහොම කලාතුරකින් දැක ගන්න පුළුවන් රෝග තත්ත්වයක්. ඒ නිසා සෙම සමඟ ලේ පිට වෙනවා දකින තත්ත්වයක් වර්ධන වන තෙක් අපි හිටියොත් අපි ගොඩක් ප්‍රමාදයි. මම නැවත මතක් කරනවා, සති දෙකකට වඩා කාලයක් පවතින කැස්ස තමයි අපි ක්ෂය රෝගියෙකු හඳුනා ගන්නා මූලික රෝග ලක්ෂණය වෙන්නේ. මේ රෝග ලක්ෂණය තිබෙනවා නම්, අනිවාර්යයෙන්ම කවුරුන් හෝ වේවා ඔහුට හෝ ඇයට ක්ෂය රෝගය තිබේ යැයි අපි සැක කරනවා.
- ක්ෂය රෝගය සම්බන්ධයෙන් ගත්විට අපි දකින්නේ ක්ෂය රෝගය ආසාදනය වුණ වැඩිහිටියෝ. ළමයින්ටත් ක්ෂය රෝගය වැළදෙන්න පුළුවන් ?, ඒ වගේම සති දෙකකට වඩා කල් පවතින කැස්ස ඇතුළු මූලික රෝග ලක්ෂණවලට අමතර නිරාවරණය නොවන රෝග ලක්ෂණ තිබෙනවා ද?
මම මුලින් සඳහන් කළ රෝග ලක්ෂණවලට අමතරව ඇඟට දැනෙන තෙහෙට්ටු ගතියක් පවා ක්ෂය රෝගයේ මූලික රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. මීට අමතරව ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින රෝග ලක්ෂණ වන මහන්සිය, හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණත් එන්න පුළුවන්.
ඒ වගේම දියවැඩියා රෝගීන් අතර පවා ක්ෂය රෝගීන් හමුවෙලා තිබෙනවා. නමුත් ඔවුන් සති දෙකකට වඩා පවතින කැස්සක ලක්ෂණ පෙන්නලා නැහැ. නමුත් ඔවුන් පරීක්ෂා කළාට පස්සේ ක්ෂය රෝගය ආසාදනය වෙලා කියලා හඳුනා ගත් අවස්ථා තිබෙනවා.
ළමා ක්ෂය රෝගීන් ගැන කතා කරන විට වැඩිහිටි ක්ෂය රෝගීන් හමුවන ආකාරයට අපට ළමා ක්ෂය රෝගීන් හමු වෙන්නේ නැහැ. ළමා ක්ෂය රෝගීන් අතරත් සති දෙකකට වඩා කල්පවතින කැස්ස ප්‍රධාන රෝග ලක්ෂණයක් වන අතර ඇදුම ස්වභාවය, ඇදුමට ලබා දෙන ප්‍රතිකාරවලට රෝගය සුව නොවන තත්ත්වයක් තිබේ නම් එයත් ක්ෂය රෝගය වෙන්න පුළුවන්.
ඊට අමතරව ළමයින්ගේ ක්‍රියාශීලීභාවය අඩුවීම, බර අඩුවීම, ආහාර අරුචිය සහ බලාපොරොත්තු වෙන ආකාරයට ළමයින්ගේ බර වැඩි නොවීම ද ක්ෂය රෝගයේ ලක්ෂණයක් විය හැකියි. එසේම බර අඩු ළමයින්ට නිසි පෝෂණයක් ලබා දුන් පසුත් ඔවුන්ගේ බර අපේක්ෂිත ආකාරයට වැඩි නොවීමත් ක්ෂය රෝගයේ ලක්ෂණයක් ලෙස සැලකිය හැකියි.
අපි බොහෝ විට ක්ෂය රෝගය ගැන කතා කරන විට පෙණහැල්ල ආශ්‍රිත ක්ෂය රෝගය ගැන තමයි කතා කරන්නේ. එම අදහස නිවැරදියි. සාමාන්‍යයෙන් ක්ෂය රෝගීන්ගෙන් 75%ක් පෙණහැල්ල ආශ්‍රිත ක්ෂය රෝගීන්. නමුත් ඉතිරි 25%ක් පෙණහැල්ල ආශ්‍රිත ක්ෂය රෝගීන් නොවන අය ලෙස අපි වාර්ෂිකව හඳුනා ගන්නවා

- ඔබ පැහැදිලි කළ ආකාරයට ක්ෂය රෝගය ආසනය වන ප්‍රධාන අවයවය වන්නේ පෙණහැල්ල, නමුත් පෙණහැල්ලෙන් පිට ක්ෂය රෝගය ආසනය වෙනවා නම් ඒ කුමන අවයව වල ද ?, එවැනි පුද්ගලයෙක් හඳුනා ගන්නේ කෙසේ ද ?
අපි බොහෝ විට ක්ෂය රෝගය ගැන කතා කරන විට පෙණහැල්ල ආශ්‍රිත ක්ෂය රෝගය ගැන තමයි කතා කරන්නේ. එම අදහස නිවැරදියි. සාමාන්‍යයෙන් ක්ෂය රෝගීන්ගෙන් 75%ක් පෙණහැල්ල ආශ්‍රිත ක්ෂය රෝගීන්. නමුත් ඉතිරි 25%ක් පෙණහැල්ල ආශ්‍රිත ක්ෂය රෝගීන් නොවන අය ලෙස අපි වාර්ෂිකව හඳුනා ගන්නවා. ඔබ දන්නවා කෙස්, නිය සහ දත් හැරුණ විට අපේ ශරීරයේ තිබෙන අනෙක් ඕනෑම අවයවයක ක්ෂය රෝගය ආසාදනය වෙන්න පුළුවන්. ඇස, සම පමණක් නොව කුද්දැටි ඉදිමීමක් පවා ක්ෂය රෝගය වෙන්න පුළුවන්. කල් පවතින කොන්දේ වේදනාවක් පමණක් නොවෙයි වකගුඩු අමාරුවක් පවා ක්ෂය රෝගය වෙන්න පුළුවන්.
මෙවැනි රෝගීන්ගේ රෝග ලක්ෂණ ලෙස කලක් පවතින උණක් වෙන්න පුළුවන්. නමුත් මේ ආකාරයේ රෝග ලක්ෂණ නොපෙන්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස කලක් පවතින කුද්දැටි ඉදිමීම පමණක් ක්ෂය රෝගයේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම ගෙළ ප්‍රදේශයේ කුද්දැටි තමයි සුලබ රෝග ලක්ෂණය වෙන්නේ. කුඩා ළමුන් අතර සාමාන්‍ය කුඩා කුද්දැටි ඉදිමුමක් දැක ගන්න පුළුවන්. ඒක කල්පවතිනවා නම්, එහි වේදනාවක් නොමැති නම් අපි ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. මීට අමතරව මම ඉහතින් සඳහන් කළ අවයව වලට බලපාන රෝග ලක්ෂණ (කොන්දේ වේදනාවක්) පවා ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ විය හැකියි. විශේෂයෙන් පෙනීමේ වෙනසක් තිබෙනවා නම්, ඒක ඇස්වල ක්ෂය රෝගය විය හැකියි. අදාළ අවයවය ආශ්‍රිත රෝග ලක්ෂණ තමයි ක්ෂය රෝගය ලෙස දැක ගන්න පුළුවන් වෙන්නේ.
- ඔබ පැහැදිලි කළ ආකාරයට ක්ෂය රෝගියෙක් යැයි අනුමාන කළ හැකි පුද්ගලයින් සහ ළමුන් අතර ප්‍රකට, ප්‍රධාන රෝග ලක්ෂණ මෙන්ම වැඩිපුර කැපී නොපෙනෙන රෝග ලක්ෂණත් තිබෙනවා. මේ සියලු තත්ත්වයන් හමුවේ ක්ෂය රෝගියක් යැයි අනුමාන කරන පුද්ගලයෙක් හඳුනා ගන්නේ කෙසේ ද ?
ක්ෂය රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ඉතාම සුලභ දෙයක්. බොහෝ දෙනෙක් කල්පවතින කැස්සක් ක්ෂය රෝගයේ ලක්ෂණයක් ලෙස සලකන්නේ නැහැ. අපිට නොයෙකුත් අවස්ථාවල, නොයෙකුත් හේතු මත කැස්ස හැදෙන්න පුළුවන්. නමුත් අපි මෙහි දී කතා කරන්නේ සාමාන්‍ය කැස්සට වඩා වෙනස් කැස්සක් ගැන. සති දෙකකට වඩා කල්පවතින කැස්ස, ඒ වගේම සාමාන්‍ය ප්‍රතිකාරවලට සුව නොවන කැස්සක් තිබේ නම් අපි අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමුවට ගොස් එක්ස් රේ පරීක්ෂණයක් කරගත යුතුයි. ළඟම තිබෙන රජයේ රෝහලකින් මේ පරීක්ෂණය නොමිලේ කර ගන්න පුළුවන්. නැතිනම් රුපියල් 1000-1500ක් වැනි මුදලකින් මේ පරීක්ෂණය කර ගන්න පුළුවන්.
එක්ස් රේ පරීක්ෂණය ඉතාම වැදගත්, මේක හැමෝම දැනගත යුතු දෙයක්. නමුත් එක්ස් රේ පරීක්ෂණයකින් අපට 100%ක් රෝගය තහවුරු කර ගන්න බැහැ. ඒ නිසා ක්ෂය රෝගය 100%කින් තහවුරු කර ගැනීමට සෙම පටල පරීක්ෂාව කරගත යුතුයි. ඒක සරල අන්වීක්ෂ ගත පරීක්ෂාවක් වෙන්නත් පුළුවන්, ඊට එහා ගිය අණුක පරීක්ෂණයක් වෙන්නත් පුළුවන්. මේක ගොඩක් සංවේදී පී.සී.ආර්. පරීක්ෂණයක් වෙන්නත් පුළුවන්. මේ පරීක්ෂණයෙන් ක්ෂය රෝගියෙක් 100%ක් තහවුරු නොවුණත් රෝග ලක්ෂණ සහ එක්ස් රේ පරීක්ෂණයෙන් තහවුරු වන පුද්ගලයින් අපි තව දුරටත් පරීක්ෂා කරනවා. මෙහිදී අපි PC Culture එකක් කරනවා. ඒකට සමාන්‍යයෙන් සති 06-08ක් පමණ කාලයක් ගත වෙනවා. මේ පරීක්ෂණය හරහා අපට නිවැරදිව ක්ෂය රෝගියෙක් හඳුනා ගන්න පුළුවන්. මේ සියලු පරීක්ෂණවලිනුත් ක්ෂය රෝගය තහවුරු නොවුණත් අපට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයා හිතනවා නම් (එක්ස් රේ වාර්තාව දෙස බලා) මේ ක්ෂය රෝගියෙක් කියලා ඔහුට අදාළ ප්‍රතිකාර ලබා දෙනවා. ඊට අමතරව පෙණහළු ආශ්‍රිත නොවන ක්ෂය රෝගීන් පටක පරීක්ෂණ තුළින් තමයි තහවුරු කර ගන්නේ.
- අපි දන්නවා අපේ සමාජයේ යම් රෝග වලට වැඩි අවදානමක් සහිත පුද්ගලයින් සිටිනවා. ක්ෂය රෝගීන් යැයි අනුමාන කරන පුද්ගලයින් අතර ක්ෂය රෝගය වැළඳීමට වැඩිම අවදානමක් ඇති පුද්ගලයින් කවුද ?
ක්ෂය රෝග අවදානම තිබෙන කාණ්ඩ ගණනාවක් තිබෙනවා. නමුත්, ප්‍රධාන වශයෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් ක්ෂය රෝගය වැළඳීමේ ඉහළම අවදානමක් ඇති පුද්ගල කාණ්ඩය ලෙස සැලකිය හැකියි. එසේම දියවැඩියා රෝගීන් සහ HIV ආසාදිතයින් අතර ක්ෂය රෝගය වැළඳීමේ අවදානම 400%ක් පමණ තිබෙනවා.
දියවැඩියා රෝගීන් අතර 20%ක්, 25%ක් අතර ක්ෂය රෝගීන් වාර්තා වෙනවා. එසේම දුම්පානය කරන, මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයින්ට ක්ෂය රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් තිබෙනවා. මෙවැනි පුද්ගලයින් මම ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම අවුරුදු 65ට වඩා වැඩි පුද්ගලයින්, අවුරුදු 05ට වඩා අඩු දරුවන්ට ක්ෂය රෝගය ආසාදනය වීමේ අවදානම වැඩියි. නමුත් අපි දකින දත්ත අනුව අවුරුදු 65ට වඩා වැඩි, නිදන්ගත රෝග තිබෙන පුද්ගලයින් අතර බහුලව ක්ෂය රෝගය හඳුනා ගත හැකියි. ඒ නිසා කල්පවතින කැස්සකින් පීඩා විඳින වැඩිහිටියන් නොපමාව වෛද්‍යවරයෙක් වෙත යොමු කළ යුතුයි. එවැනි වැඩිහිටියන්ගෙ එක්ස් රේ පරීක්ෂාව සහ සෙම පරීක්ෂාව තුළින් රෝග විනිශ්චය කළ හැකියි.
- ක්ෂය රෝගීන් යැයි අනුමාන කළ හැකි පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු නොවුණොත් සමාජයට සිදුවිය හැකි බලපෑම කුමක් ද ?
ඇත්තටම විශාල බලපෑමක් සමාජයට සිදුවිය හැකියි. උදාහරණයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාව තුළ ක්ෂය රෝගීන් 14,000ක් හඳුනා ගත යුතුයි. නමුත් අපි වාර්ෂිකව හඳුනා ගන්නේ 9000ක පමණ ප්‍රමාණයක්. ඒ කියන්නේ 5000ක පමණ පිරිසක් ප්‍රතිකාර නො ගෙන, හඳුනා ගැනීමකින් තොරව විවෘත සමාජයේ ජීවත් වෙනවා. අපි මේ පිරිස හඳුනා ගත්තේ නැතිනම් ප්‍රධාන වශයෙන් ඒ පුද්ගලයාට ලොකු හානියක් වෙනවා. නිසි ප්‍රතිකාර නොගත්තොත් ඔහු මරණයට පවා පත්වීමට පුළුවන්. කල් ගත වී රෝගියා හඳුනා ගත්තොත් පෙණහළුවලට සිදුවෙලා තිබෙන හානිය යළි සුවපත් කිරීමට නොහැකි වීමට පුළුවන්. එවැනි පුද්ගලයෙක්ට සදාකාලිකව හතිය, ඇදුම වැනි රෝග සමඟ ජීවත් වීමට සිදු වෙනවා. ඒ වගේම ඔහුට වෙහෙස වෙලා වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය මුළු ජීවිත කාලය පුරාම තිබෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් ඔවුන් සමීපව ඇසුරු කරන පුද්ගලයින්ට මේ රෝගය බෝ කරන්න පුළුවන්. ගණනය කිරීම් අනුව හඳුනා නොගත් ක්ෂය රෝගියෙකුට වසරකට නිරෝගී පුද්ගලයින් 15 දෙනෙකුට ක්ෂය රෝගය බෝ කරන්න පුළුවන්. මෙහි අදහස තමයි යම්කිසි නිවසක හඳුනා නොගත් ක්ෂය රෝගියෙකු සමඟ දීර්ඝ කාලයක් ගත කරනවා නම් රෝගය ආසාදනය වීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා. නිවස තුළ සිටම රෝගය පතුරවන්න පුළුවන්, සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ වගේම සමාජයේ ඔහු ආශ්‍රය කරන අනෙක් පුද්ගලයින්ටත් හඳුනා නොගත් ක්ෂය රෝගියාගෙන් පහසුවෙන් රෝගය බෝ වෙන්න පුළුවන්.
- ක්ෂය රෝගියෙකු සම්බන්ධයෙන් සමාජය කටයුතු කළ යුත්තේ කෙසේ ද ?
2035 වන විට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීමේ සැලසුමක් අපට තිබෙනවා. මේ ගමන සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනට තනියම යන්න බැහැ. ඒකට සියලුම පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍යයි.
මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ප්‍රජාව දැනුවත් වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ, ප්‍රජාව බලාත්මක විය යුතුයි. ඇත්තම කියනවා නම් බලාත්මක වීමත් ප්‍රමාණවත් නැහැ, අපි ඒ සඳහා යොමු විය යුතුයි. මෙහි දී වැදගත් කරුණක් අවධාරණය කළ යුතුයි. පෙනහළු කියන්නේ අපේ ශරීරයේ වටිනා අවයවයක්. අපි හෘද වස්තුව පරිස්සම් කර ගැනීමට ගොඩක් මහන්සි වෙනවා. නමුත් පෙණහළු රැක ගැනීමට කිසිම අවධානයක් නැහැ. අපට හුස්ම ගන්න පුළුවන්කම ලැබෙන්නේ පෙණහළු නිසා. ඒ නිසාම අපි එය රැකගත යුතුයි. ඒ නිසා කලින්ම ක්ෂය රෝගය හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් රෝහලකට යාමට සිදුවෙනවා. ඇතැම් විට ඔබ ඒකට කැමැත්තක් නැති වෙන්න පුළුවන්. නමුත් යම්කිසි සැකයක් ඇති පුද්ගලයෙක් එක්ස් රේ එකක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඒක පහසුවෙන් කරන්න පුළුවන්. ක්ෂය රෝගය ගැන යම්කිසි සැකයක් ඇති පුද්ගලයෙක් ‘ඩොක්ටර් මට එක්ස් රේ එකක් කරගන්න පුළුවන් ද ?’ කියන තත්ත්වයට සමාජය පත් කිරීම අපේ අරමුණයි. මේ ආකාරයෙන් ලබා ගන්නා එක්ස් රේ එකකින් ඕනෑම වෛද්‍යවරයෙකුට ක්ෂය රෝගියෙක් හඳුනා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණවලට අදාළ පුද්ගලයා යොමු කරන්න මේ වාර්තාව අනුව පුළුවන්.
ඒ වගේම තමයි එක්ස් රේ එකක් ගන්න බොහෝ අය බය වෙනවා. අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පවා ඒ ගැන බය වෙනවා. නමුත් ඒ ගැන කිසිම බයක් ඇතිකර ගත යුතු නැහැ. ගැබිනි මතාවකට වුණත් ක්ෂය රෝගය කියලා සැකයක් තිබෙනවා නම් කිසිම බයක් නැතිව එක්ස් රේ එකක් කර ගන්න පුළුවන්. මම නැවත කියන්නේ එක්ස් රේ එකක් ගන්න කිසිම අවස්ථාවක බය වෙන්න එපා. ඒ හරහා පිළිකා හෝ වෙනත් කිසිම රෝග අවදානමක් ඇති වෙන්නේ නැහැ.
සාකච්ඡාව – තුෂාල් විතානගේ














