ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධන ක්ෂේත්රය තුළ නැගී එන ප්‍රධාන අපනයන කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇති බෝට්ටු නිෂ්පාදන අංශයේ දියුණුව වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය රුපියල් මිලියන 76ක වියදමින් ඉදිකළ ලංකාවේ ප්‍රථම බෝට්ටු දියත් කිරීමේ අංගනය ඊයේ විවෘත විය.
බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පැවැති මෙම සුවිශේෂී සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහභාගි වු අතර, ඒ සඳහා ධීවර, ජලජ හා ධීවර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ද එක්ව සිටියහ.
නවීන තාක්ෂණයෙන් සහ පහසුකම්වලින් යුත් මෙම අංගනය හරහා මෙරට නිෂ්පාදනය කරනු ලබන බෝට්ටු වඩාත් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව දියත් කිරීමට ව්‍යවසායකයින්ට අවස්ථාව ලැබෙන අතර, එමඟින් මෙරට බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ පිරිවැය අවම කර ගනිමින් ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට මින් ඉදිරියට මග පෑදෙනු ඇති බව මේ අවස්ථායේ කර්මාන්ත අමාත්‍යවරයා පැවසුවේය.













