හීලෑ අලි ඇතුන් කළමනාකරණයට ජාතික ප්‍රතිපත්තියක්

හීලෑ අලි ඇතුන් කළමනාකරණයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙන බව පරිසර ඇමති ධම්මික පටබැ මහතා පැවසුවේය.

පරිසර අමාත්‍යවරයා මේ බව හෙළි කළේ ඊයේ (05) 2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණ අවස්ථාවේ දීය.

මෙහි දී පරිසර අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය “අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමට අපි විශාල වෙහෙසක් ගෙන කටයුතු කරනවා. අපේ සිහිනයක් තමයි අලින්ගේ වාසස්ථාන හරහා ගමන් කිරීමට ඔවුන්ට මාර්ග විවෘත කර දීම. අද අපි සමත් වී තිබෙනවා හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකෙහි අලිමංකඩ තුනක් විවෘත කරන්න. මෙවැනි අලිමංකඩ විවෘත කිරීමටත් අලි කළමනාකරණ රක්ෂිත නිර්මාණය කිරිමටත් අපි පසුගිය කාලය තුළ විශාල වෙහෙසක් දැරුවා. වසර කිහිපයකට පෙර හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයක් ප්‍රකාශයට පත් කර තිබුණත් ඊට අදාළ නිතී රෙගුලාසි සකස් කර අදාළ යාන්ත්‍රණයක් සකස් කර තිබුණේ නැහැ. අපි ඒ සඳහා නීති රෙගුලාසි ගැසට් කර මෙහෙයුම් කමිටුවක් පත් කර මේ වන විට වැඩ පටන් අරන් තිබෙනවා. මේ කටයුතු සිදුකිරීමේදී අපි දැක්කා වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවල මානව හා භෞතික සම්පත්වල හිගයක් පවතින බව. අපි එයට විසඳුම් ලෙස පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කටයුතු කළා. ඒ වගේම අදාළ ආයතනවලට, නිලධාරීන්ට වැඩ කිරිමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සඳහා යතුරුපැදි, ට්‍රැක්ටර්, අත්ට්‍රැක්ටර් හා කැබ් රථ වැනි වාහන මිලදී ගැනීමට මැදිහත් වුණා.

හීලෑ අලි ඇතුන් කළමනාකරණයටත් අපි ප්‍රතිපත්තියක් සකස් කිරිමට මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපේ රටේ අඩුවක් ලෙස පවතින අලි අභිජනන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පින්නවල අලි අනාථාගාරය සංවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. පරිසරය ආරක්ෂා කිරිමේදි මේ රටේ පවතින නිති රීති අණ පනත් යල් පැන ගිය ඒවා. අපි ඒ අණ පනත් සංශෝධනය කිරීමට මේ වන විට ක්‍රියා කරමින් සිටිනවා’;.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website