උසස් ගුණාත්මකභාවයකින් යුත් සෞඛ්‍ය සේවාවක් සමස්ත මහජනතාව වෙත සමීප කිරීම අරමුණින්, 2025 – 2029 පස් අවුරුදු සැලැස්ම යටතේ හෙද සේවාව සඳහා 13,600ක නව ශ්‍රම බලකායක් අලුතින් එක්කර ගැනීමේ ඉලක්කය සපුරාලීම වෙනුවෙන් තවත් සිසු හෙද පුහුණුලාභීන් 3,000ක් බඳවා ගැනීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේය.
මෙම බඳවා ගැනීම් යටතේ 2021, 2022, 2023 සහ 2024 යන වර්ෂවලදී විද්‍යා හෝ ගණිත විෂය ධාරාවන් යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඉදිරිපත්ව සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ.
සුදුසුකම්ලත් අයදුම්කරුවන්ට මැයි මස 29 දින සිට ජුනි මස 30 වනදා දක්වා වූ මාසයක කාලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk පරිශීලනය කරමින් සිය අයදුම්පත් යොමු කළ හැකිය.
සුදුසුකම්ලත් පිරිස් කඩිනමින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිත ඇති අතර, තෝරාගනු ලබන 3,000ක කණ්ඩායම සඳහා වන වෘත්තීය සිසු හෙද පුහුණුව මෙම වසරේ අගභාගයේදීම ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් අවශ්‍ය සියලු සැලසුම් සකස් කර අවසන්ව ඇත.
මීට අමතරව, ඉදිරියේදී සෞඛ්‍ය සේවය හා සම්බන්ධ වීමේ අරමුණින් දැනටමත් දිවයින පුරා පිහිටි හෙද විදුහල් තුළ සිසු හෙද හෙදියන් 7,800කට ආසන්න පිරිසක් සිය වෘත්තීය පුහුණුවීම් ලබා ගනිමින් සිටිති.















