ශ්‍රී ලංකාවට පොහොර ගෙන්වන සමාගම් නියෝජිතයන් සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත අතර විශේෂ සාකච්ඡාවක් අද (01) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඉදිරි මහ කන්නය සඳහා රටට අවශ්‍ය පොහොර ප්‍රමාණය නිසියාකාරව රට තුළට ගෙන්වා ගැනීමට පොහොර සමාගම් මැදිහත් විය යුතු ආකාරය සහ සමස්ත පොහොර අවශ්‍යතාවය සපුරාලීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය වන TSP , Urea , MOP යන පොහොර වර්ගයන් ගෙන්වීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙම සාකච්ඡාව සඳහා වැවිලි අමාත්‍යාංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. මීට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොහොර අතිරේක ලේකම්වරුන්, පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම, පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා සහ අතිරේක කොමසාරිස්වරුන්ද මේ සඳහා එක්ව සිටියහ.
මෙහිදී අනාවරණය වූයේ 2025 වසර යනු මෙරට විශාල වී අස්වැන්නක් ලබාගත් වසරක් වූ බවයි. කෙසේ වෙතත්, එම වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත කොට ඇති පොහොර ප්‍රමාණයට වඩා අඩු පොහොර ප්‍රමාණයක් ගොවීන් භාවිත කර ඇති බව දත්ත මඟින් තහවුරු වී ඇත.
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 2026 වත්මන් වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන සමස්ත පොහොර ප්‍රමාණයම මෙරටට ගෙන්වා දීමට සූදානම් බව පොහොර සමාගම් නියෝජිතයෝ මෙහිදී සහතික වූහ.
රට තුළ කිසිදු අයුරකින් පොහොර හිඟයක් ඉස්මතු වීමට ඉඩ නොතබන බවත්, අවශ්‍ය සියලුම පොහොර ප්‍රමාණයන් ගෙන්වීම සඳහා සමාගම් මේ වන විටත් ගිවිසුම්ගතව ඇති බවත් පොහොර ලේකම් කාර්යාලය මෙහිදී පෙන්වා දුන්නේය.
ගොවි ජනතාවගේ පොහොර අවශ්‍යතාවය නිසි කලට වේලාවට ලබා දීම වෙනුවෙන් සියලුම අංශ එක්ව කටයුතු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නිරන්තරයෙන්ම සෘජුව මැදිහත් වන බවත් අමාත්‍යවරයා වශයෙන් වැඩිදුරටත් අවධාරණය කළේය
















