මාදුළුවාවේ සෝභිත නායක මාහිමි: 83 වන ජන්ම දින අනුස්මරණය අද

(මැයි මස 29වන දිනට යෙදෙන  අපවත් වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි)

අද අප සිටින්නේ අපගේ ශ්‍රේෂ්ඨ උරුමයන් සහිත ජාතික ජීව ගුණය පිළිබඳව අවලෝකනය කරමින් අනාගතය නිවැරදි ලෙස ගොඩනඟා ගත යුතුව ඇති අවධියක ය. වසර 2500කට අධික පැහැදිලි උරුමයක් හිමි එමෙන් ම මහා සංස්කෘතින්හි රැස් වළලු ඉදිරියේ පවා අප සතු අනන්‍යතාවයන් සුරක්ෂා කර ගනිමින් ඉදිරියට ආ ජාතියක් ලෙස නූතන ලෝකයේ අප පෙනී සිටිය යුත්තේ ඉදිරි දැක්මකින් යුතුව ය. එහි දි අප රැක ගත් සාර පුරුෂාර්ථයන් ආරක්ෂා කරගැනීම අපගේ පරම වගකීම බවත් ජාතියක් ලෙස අප සිහිපත් කර ගත යුතුව තිබේ.

මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් වැනි අසහාය මහා සංඝ පිතෘන් වහන්සේ නමක් අපට මහා ප්‍රදීපස්ථම්බයක් වන්නේ එහිදි ය. ආර්ථික, සමාජීය, ආගමික හා සංස්කෘතික ආදි සෑම පරාසයක් තුළම සිදුවෙමින් පවතින විපරීතයන් සළකා බැලීමේදී උන්වහන්සේ  දිවමන්ව සිටියදී අපට පෙන් වූ මඟ එතැනදි කිසිසේත්ම මඟහැර යා නොහැකි ය.

මාදුළුවාවේ සෝභිත නායක මාහිමි චරිතය සැළකිල්ලට ගැනීමේදී  පළමු කොට බුද්ධ පුත්‍රයෙකු වශයෙන් ද දෙවනුව සාර සමාජයක් උදෙසා කැප වූ සංස්කෘතික පුනර්ජීවකයෙක් ලෙසට ද තෙවනුව විශේෂයෙන් ම මේ රටේ දේශපාලන සංස්කෘතියෙහි දැවැන්ත පරිවර්තනයක් සඳහා යෝධ මග පෙන්වන්නෙකුගේ කාර්ය භාර්යයකට උර දුන් මහරු  චරිතයක් ද හඳුනා ගත හැකි ය.

උන්වහන්සේ ඒ් සියළු කාර්යයන්ට නායකත්වය දෙන ලද්දේ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට පාදක වූ සංස්කෘතික හරයන් හා ඒ් තුළ දැවැන්තම ගාමක බලවේගයක් ද වූ භික්ෂු චරිතයට හිමි විය යුතු වු ගරුත්වය උපරිම අන්දමට ආරක්ෂා කරගනිමිනි. එමෙන් ම භික්ෂුන් වහන්සේ නමක ලෙස තමන් වහන්සේ සතු වූ වගකීම ඉහළින්ම සැළකිල්ලට ගනිමිනි. උන්වහන්සේ බණ පදයක් නොකී පන්සලක්, ගමක්, නගරයක් සොයාගැනීමට අපහසු වන්නේ එහෙයිනි. සිය සැදැහැවතුන්ගෙන් ලැබෙන දාන මාන පවා මේ රටේ දුෂ්කර ගම් දනව්හි වැඩවසන භික්ෂුන් වහන්සේලාට හා විහාරස්ථානවලට පමණක් නොව පීඩාවට පත් බොහෝ ගිහියන් වෙත ද ප්‍රතිදානය කළ අවස්ථා ගිණිය නොහැකි තරම් ය.

රටේ සමාජ සාරධර්ම වර්ධනය පිණිස ද අධ්‍යාපන ක්ෂත්‍රය තුළ ද උන්වහන්සේ කර ඇති මැදිහත්වීම කොතරම් ද යන්න වටහා ගැනීමට ඇති හොඳම සාධකය උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු සමාජය තුළ දැකිය හැකි නායකත්ව රික්තයෙහි පරිමාවයි. පරිවේණාධිපතිවරයෙක්, අමද්‍යප ව්‍යාපාරයට නායකත්වය දුන් දැවැන්ත චරිතයක්, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නැඟි සිටි අරහත් ධජයක්, දේශීය ආර්ථිකයකට මඟපෙන්විය හැකි ව්‍යවසායකත්ව ප්‍රජාවක් ගොඩනැඟීමට උර දුන් ආර්ථික වරප්‍රසාද අපේක්ෂා නොකළ චරිතයක් යනාදි වශයෙන් උන්වහන්සේගේ සමාජ භූමිකාව ක්ෂත්‍ර ගනනාවක් පුරා විහිදී ගිය එකකි.

උන්වහන්සේ තුළ වූ සමාජ අරමුණ, ගොඩනැඟීමට අපේක්ෂා කළ යහපත් රට, නිර්මාණය කරගැනීමට ඇති බලගතුම බාධකය උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ සමස්ත ජාතියටම කඩා පාත් වූ “මහහෙනය” ලෙසටය. එය ඉතා පැහැදිලිවම උන්වහන්සේ රට හමුවේ ප්‍රකාශ කළේ සිය 70 වන ජන්ම දින දා තමන් වහන්සේට ආශිර්වාද කිරීමට හා සුභ පැතීමට එක්රැස් වූ මහා සංඝරත්නය හා ගිහි ප්‍රජාව හමුවේදීය. උන්වහන්සේ එහිදි අවධාරණය කළේ රට තුළ බලාත්මකව පවතින විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන තුරු මේ රටට සුගතියක් අත් නොවන බවය. එකි අනතුරින් රට ගලවාගැනීමට තම ඉදිරි ජීවිත කාලයම කැපකරන බවට උන්වහන්සේ ප්‍රතිඥා දුන්නේ එදා ය.

1978 වසරේ සිටම  විවිධ දේශපාලන හා ව්‍යවස්ථා විශාරදයින් කීර්තිමත් දේශපාලන නායකත්වයන් හා මේ රටේ සියළුම දේශපාලන පක්ෂ පාහේ විධායක ජනාධිපති ක්‍රමයෙහි ඇති ආදීනව පෙන්වා දී ඇතත් ඒ් සඳහා ම තම කැපවීම ප්‍රකාශයට පත් කළ හා එකී කැපවීම අඛණ්ඩවම ප්‍රදර්ශනය කළ ප්‍රථම චරිතය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ ය.

උන්වහන්සේගේ එකී කැපවිම තුළ අත්තනෝමතික ඒ්කාධිපතිත්වයක් කරා ගමන් කරමින් තිබූ වර්ධනයට සීමාවන් ගණනාවක් ම සනිටුහන් කිරිමට සමත් විය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය එහි එක් තීරණාත්මක පියවරක් විය. එහෙත් ජාතියේ අභාග්‍යයකට උන්වහන්සේගේ අපවත්වීම තුළ එහි අවසන් අරමුණ කරා යොමු වන්නට උන්වහන්සේට නොහැකි විය. එකි වගකීම අප හමුවේ ඉතිරි විය.

ඒ් අනුව උන්වහන්සේගේ එකි දැක්ම හා අධිෂ්ඨානය අද දවසේ අප ගැඹුරින් සළකා බැලිය යුතුව තිබේ. විශේෂයෙන් ම ලංකා ඉතිහාසයේ කිසි ම කාලයක නොවූ ආකාරයෙන් ශ්‍රී ලංකාව විවිධ අභියෝගයන්ට මුහුණ පා ඇති පරිසරයක ඒ් පිළිබඳව අවධානය යොමු කිරීමේ වගකීම සමාජයක් ලෙස අප වෙත පැවරී තිබේ.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දුර්මුඛව තිබීම,අධිකරණ ස්වාධිනත්වයෙහි අඛණ්ඩතාවයට වරින් වර මතුවන බධාවන්, දූෂිත ආර්ථික බලවේග ශක්තිමත් වීමෙන් තිරසර ආර්ථික සංවර්ධනයකට එල්ල කරන බලපෑම වැනි කරුණු ඒ් අතරින් ප්‍රධානය. එවැනි තත්ත්වයක් යටතේ මෑත දශක කිහිපයක කාලය තුළ රටට අත් වූ ඛේදණීය ඉරණම අද වන විට ඉතාමත්ම පැහැදිලිය. සාමුහිකත්වයකට කිසිදු ඉඩක් නොතබා එක් පුද්ගලයෙකුට අත්තනෝමතික හා හිතුවක්කාරී ආකාරයෙන් තීන්දු ගැනීමට ලබා දී ඇති ඉඩකඩ හා එවැනි තීන්දු රටේ පරිහානියට හේතුකාරකයන් වී ඇති අන්දම තේරුම්ගැනීම තුළ පමණක් එකී අනතුරේ ගැඹුර අවබෝධ කරගත හැකි ය.

ඒ් අනුව අද අප සිටින්නේ මාදුළුවාවේ සෝභිත මාහිමි වැනි මහා යතිවරයන් ප්‍රමුඛ ජාතියට ජිවය ලබාදිය හැකි යෝධ ජාතික ප්‍රතිරූප ශක්තිමත් කල යුතුව ඇති යුගයක ය. එවැන්නන්ගේ ආගමනයට සාදරයෙන් ආරාධනා කල යුතු කාලයක ය. ජාතියක් ලෙස එවැනි මගකට පිවිසිම මාදුළුවාවේ සෝභිත නායක මාහිමයන්ට කල හැකි ඉහළම උපහාරය වනු ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website