
– කාංචනා හේරත්, සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය – බතලගොඩ-
වී වගාව යනු නිමක් නැති ගැටලු සහ අභියෝග පවතින ක්ෂේත්‍රයකි. වී අස්වැන්න ප්‍රමාණවත් නොවීම, ප්‍රමාණවත් මිලක් නොලැබීම ආදි ගැටලු ගණනාවක් ගොවීන්ට තිබෙන අතර රජය පවසන්නේ කුඹුරු ඉඩම් ප්‍රමාණය තව දුරටත් වැඩි කළ නොහැකි හෙයින් වී වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ දැමීම ඉතා වැදගත් බවයි. ඒ අතර වී වගාවේ නිරත ගොවීන් නිසි පරිදි වගා පිළිවෙත් භාවිතා නොකිරීම අස්වැන්න අඩුවීමට, රසායනික පොහොර භාවිතය ඉහළ යාමට සහ වල් පැළ වර්ධනය තීව්‍රර වීමට ප්‍රධාන හේතුවක් බව පර්යේෂකයින්ගේ අදහසයි. ‘වී වගා අත්පොත’ නමින් අද සිට ප්‍රකාශයට පත්වන මෙම ලිපි පෙළේ අරමුණ වන්නේ වී වගාවේ දී ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවලට නිවැරදි තාක්ෂණික භාවිතයන් පිළිබඳ නිසි මාර්ගෝපදේශයක් ලබා දීමයි.
- වී වගාවේ දී ‘බිම් සැකසීම’ යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද ?
කෘෂිකර්මාන්තයේ දී ‘බිම් සැකසීම’ එසේ නොමැති නම් ‘බිම සකස් කිරීම’ කරන්නේ අරමුණු කිහිපයක් මුල් කරගෙනයි. එය වී වගාවේ බෝග ස්ථාපනයේ මූලික සහ වැදගත්ම පියවර ලෙස සැලකෙනවා. බීජ හෝ බීජ පැල ස්ථාපනයෙන් පසු ප්‍රශස්ත ශාක වර්ධනයක් ලබා ගැනීම සඳහා පාංශු භෞතික පරිසරය සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.
බිම සකස් කිරීමේ දී මුල් කාලයේ බහුලව භාවිතා කළේ උදැල්ලයි. ඒ අතර ‘ගැමි නගුල’ යොදා ගත්තා. මේ සඳහා මී හරක් සහ ඇතැම් අවස්ථාවල එළ හරක් යොදා ගත්තා. මීට කාලයකට පෙර ‘අත්තම් ක්‍රමයට’ ගොවිතැන් කළ නිසා උදැල්ල සහ ගැමි නගුල භාවිතයෙන් බිම සකස් කිරීම පහසු වුණා. නමුත් තාක්ෂණය දියුණු වීම සමඟ බිම සකස් කිරීමට නවීන තාක්ෂණය භාවිතය සිදුවුණා. ඒ අනුව වර්තමානයේ යාන්ත්‍රික නගුල් භාවිතයෙන් බිම් සැකසීම ජනප්‍රිය වී තිබෙනවා.
- බිම සකස් කිරීම වැදගත් වෙන්නේ ඇයි ?, එයින් වී ශාකයට සහ ගොවියට හිමිවන ප්‍රතිලාභ මොනවා ද ?
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විවිධ පර්යේෂණ කරලා වී වගාවේ අස්වනු ඵලදායීතාවය වැඩි කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සොයා බලන විට බිම් සැකසීම ඉතාම වැදගත් කාරණයක් ලෙස හඳුනා ගත්තා. වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් නිවැරදි පැළ ගහනයක් පවත්වා ගත යුතුයි. අපේ ගොවි මහතුන්ගෙන් 99%ක්ම ‘වී වැපිරීම’ තමයි කරන්නේ. මේ බිත්තර වී ඒකාකාරීම කුඹුරේ වපුර ගැනීමට නිවැරදි බිම් සැකසීම වැදගත් වෙනවා. පැළ සිටුවීම කළත්, පැළ සිටුවීම නිවැරදිව, ඒකාකාරීව තිබුණොත් තමයි වැඩි අස්වැන්නක් ලැබෙන්නේ. එහිදීත් නිවැරදි බිම් සැකසීම වැදගත් වෙනවා. නිවැරදි බිම් සැකසීම තුළින් ලැබෙන ප්‍රතිලාභ ගණනාවක් තිබෙනවා, ඒවා අතර මූල පදිධතියේ වර්ධනය වැඩි දියුණු කිරීම, පාංශු ස්ථර මිශ්‍ර කිරීම මඟින් පෙර කන්නයේ පසට එක්කළ පොහොර ප්‍රමාණයෙන් යම් ඉතුරු ප්‍රමාණයක් ශාක වලට ලබා ගැනීම පහසු කිරීම, වල් පැළෑවි කළමනාකරණය කිරීම පහසු කිරීම, පාංශු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කිරීමෙන් පස වැඩිදියුණු කිරීම, පස තුළින් ජලය සහ පෝෂක කාන්දුවීම අවම කිරීම, පසෙහි ජීවත්වන / නොනැසී පවතින ජීවන චක්‍ර අවධීන් විනාශ කිරීම මඟින් සමහර පළිබෝධ සහ රෝග කළමනාකරණය කිරීම වැදගත් ප්‍රතිලාභ ලෙස සැලකිය හැකියි.
- නිවැරදි බිම් සැකසීම මඟින් වී ශාකයේ මූල පදිධතියේ වර්ධනය වැඩි දියුණු කරන බව ඔබ සඳහන් කළා. මෙය තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන් ද ?
වී ශාකයේ මූල පද්ධතිය නිවැරදිව වර්ධන නොවුණොත් ගැටලු ගණනාවක් ඇති වෙනවා. විශේෂයෙන් ශාකයට නිසි ලෙස පෝෂණය උරා ගැනීම අපහසු වෙනවා. ඒ වගේම නිසි ලෙස ජලය උරා ගැනීමට නොහැකි වීමත් ප්‍රධාන ගැටලු ලෙස සැලකිය හැකියි. අපට පසුගිය කාලයේ වී ශාකය ‘කහ පැහැ වීම, නිසි ලෙස වර්ධනය නොවීම’ වැනි ගැටලු නිතර අසන්නට ලැබුණා. මේ ගැටලු වලටත් ‘එක හේතුවක්’ ලෙස වී ශාකයේ මූල පද්ධතිය නිසි ලෙස වර්ධනය නොවීම සැලකිය හැකියි. මෙහි සරල අදහස වන්නේ නිසි ලෙස පෝෂණය සහ ජලය උරා ගැනීමට නම් වී ශාකයේ මූල පද්ධතිය නිසි ලෙස වර්ධනය විය යුතු බවයි. එක කළ හැකි වන්නේ නිවැරදි ලෙස බිම් සකස් කිරීම තුළින් පමණයි.
- වී වගාවේ දී බිම සකස් කිරීමේ ක්‍රමවේදය, ශිල්පීය ක්‍රම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
බිම් සැකසීමේ දී අනුගමනය කරන ප්‍රධාන පියවර තුනක් තිබෙනවා. ප්‍රාථමික බිම් සකස් කිරීම ( පළමු හීය/සී සෑම/බිම් හීය), ද්විතියික බිම් සකස් කිරීම සහ( දෙවන හීය/සී සෑම) සහ තෘතියික බිම් සකස් කිරීම. (තෙවන හීය/සී සෑම) ලෙස ඒවා නම් කළ හැකියි. ‘තෙත් ක්‍රමයට’ බිම් සකස් කරන විට තමයි මේ ක්‍රම තුනම අනුගමනය කරන්නේ.(‘මඩ ගහනවා’ යනුවෙන් කියන්නේ මෙයයි). ඒ වගේම වියළි බිමක සී සෑම සිදු කරන්නේ නම් ‘වියළි බිම් සකස් කිරීම’ කියලා හඳුන්වන ක්‍රමයක් තිබෙනවා. මේ ක්‍රම දෙක අනුගමනය කරන්නේ ජල අවශ්‍යතාව පදනම් කරගෙන බිම් සකස් කිරීම කරන විටයි.

- පළමු සී සෑම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
මෙය, ප්‍රාථමික බිම් සකස් කිරීම, පළමු හීය, සී සෑම හෝ ඇතැම් පළාත් වල බිම් හීය, බිම් නැගුම, පුරන් හීය කියලත් හඳුන්වනවා.
පළමු හීය නිවැරදිව කිරීම තුළින් ශාක මූල පද්ධතිය සකස් වන මට්ටමට පසේ ගැඹුර වැඩිකර ලිහිල් කරන අතර මුල් වර්ධනය වීමට ප්‍රමාණවත් ඉඩක් ලබා දෙනවා. ඒ වගේම වල් පැලෑටි සහ බෝග අපද්‍රව්‍ය පසට යටකර පසෙහි කාබනික ද්‍රව්‍ය අන්තර්ගතය වැඩි දියුණු කරනවා.
මුල් කාලීනව පළමු හීයට භාවිතා කළේ උදැල්ල හෝ ගැමි නගුල. මේ ආකාරයෙන් බිම් සකස් කරන විට පස් පිඩැල්ල හොඳට පෙරළා ගැනීමට අවස්ථාව ලැබුණා. මෙය හොඳ තාක්ෂණික ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. නමුත් වර්තමානය වන විට ඇතැම් ගොවියෝ පළමු බිම් සැකසීම ‘නිවැරදිව’ කිරීමෙන් බැහැර සිටිනවා. ඔවුන් නිසි ලෙස පස් පිඩැල්ල පෙරළා ගැනීම කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ‘නිවැරදි නගුල’ භාවිතා නොකිරීම. වර්තමානයේ භාවිතා කරන නව තාක්ෂණයට අනුව නිවැරදිව පස් පිඩැල්ල පෙරළා ගැනීමට නම් ‘නගුල් කියත’ සහ ‘පැති නගුල’ භාවිතා කළ යුතුයි. රෝද හතරේ ට්‍රැක්ටරයට සහ රෝද දෙකේ ට්‍රැක්ටරයට භාවිතා කළ හැකි පැති නගුල තිබෙනවා. ඊට අමතරව ‘හැඩලෑලි නගුල’ නමින් නව නගුලක් හඳුන්වා දී තිබෙනවා. නිවැරදි නගුල් භාවිතය තුළින් බිම් සකස් කිරීමක දී පස අඟල් 6-8ක් පමණ ගැඹුරට බුරුල් වෙනවා. මේ ආකාරයෙන් නිවැරදි නගුල් භාවිතා කර පස පෙරළා ගැනීම තුළින් පමණයි ගොවියට සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ.
- ඔබ කියන ආකාරයට වර්තමානයේ ගොවීන් මේ ආකාරයට නිවැරදිව බිම් සැකසීමක් කරනවා ද ?
වර්තමානයේ ගොවීන් පුරුදු වෙලා ඉන්නේ නවීන තාක්ෂණයට. නමුත් ඔවුන් නිවැරදි තාක්ෂණික නගුල යොදා ගන්නේ නැහැ. ඒ වෙනුවට පළමු හීය හාන්න ‘රොටරිය’ පාවිච්චි කරනවා. රොටරිය භාවිතයෙන් අපේක්ෂිත අඟල් 6-8 ගැඹුර පස බුරුල් වෙන්නේ නැහැ, ගැඹුර අඩු වෙනවා. ඒ වගේම පස් පිඩැල්ල සම්පූර්ණයෙන් පෙරළීමක් සිදුවෙන්නෙත් නැහැ. මේ තත්ත්වය තුළ අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීමට නොහැකි වෙනවා වගේම බිම් සැකසීමේ අරමුණු බිඳ වැටෙනවා. මම නැවත අවධාරණය කරනවා පළමු හීයට රොටරිය සුදුසු නැහැ, ඒක සුදුසු දෙවන හීයට.
- ගොවීන් මේ වරද කරන්නේ ඇයි ?
බොහෝ අවස්ථාවල (කර ගන්න දෙයක් නැති නිසා) සිදුවෙන්නේ හාන්න එන ට්‍රැක්ටරයේ තිබෙන නගුල භාවිතා කිරීමයි. නමුත් මෙය නොකළ යුතු දෙයක්. නිවැරදි නගුල් භාවිතයෙන් පස් පිඩැල්ල හරියාකාරව පෙරළා ගැනීම තුළින් පමණයි ප්‍රශස්ත අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ.
- පළමු හීය සඳහා සුදුසු අවස්ථාව කුමක්ද ?
පසෙහි තෙතමන ප්‍රමාණය සී සෑම සඳහා සුදුසු කාලය තීරණය කරනවා. සීසෑමේදී පස ප්‍රමාණවත් ලෙස කැබලි වන අවස්ථාව වඩාත් සුදුසු අවස්ථාව ලෙස සැලකිය හැකියි. ප්‍රාථමික බිම් සැකසුම ද්විතියික බිම් සැකසුමට දින 14කට පෙර, එනම් බෝග ස්ථාපනයට සති 3-4කට පෙර සිදු කළ යුතුයි.
- පළමු හීයේ දී විශේෂ අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු මොනවා ද ?
අඛණ්ඩව වගා කිරීම සහ නිවැරදි සීසෑමේ උපකරණ භාවිතා නොකිරීම මඟින් වැලි සහිත නොගැඹුරු මූල පද්ධති කලාපයක් නිර්මාණය විය හැකියි. සී සෑම සහ බෝග ස්ථාපනය අතර කාල පරතරය දීර්ඝ වීම නිසා පසේ ඝණත්වය වැඩි වුවහොත් නැවත් වරක් සීසැම සිදු කළ යුතුයි. ඇටවරා, කලාදුරු වැනි බහු වාර්ෂික වල් පැළෑටි පාලනය කිරීම සඳහා ගැඹුරට සීසෑම වැදගත් වෙනවා.
- ද්විතියික බිම් සැකසීම කරන්නේ ඇයි ?
බිම් සැලසීමේ දෙවැනි පියවර ලෙස ද්විතියික බිම් සැකසීම සැලකෙනවා. දෙහීය, මඩහීය යන නම්වලින් ද්විතියික බිම් සැකසීම හැඳින්වෙනවා. පළමු හීය නිවැරදිව කිරීම තුළින් තමයි දෙහීයට යා යුතු වන්නේ.
කාරණා කිහිපයක් නිසා ද්විතියික බිම් සැකසීම වැදගත් වෙනවා. ඒ වා අතර, ප්‍රාථමික බිම් සැකසුමෙන් පසු ඉතිරි වූ විශාල පස් කැට තවදුරටත් කඩා දැමීම, ප්‍රාථමික බිම් සැකසුමෙන් පසු මතු වූ වල් පැලෑටි පසට යට කිරීමට අවස්ථාව ලැබීම සහ භූමියේ ඉතිරිව ඇති යම් බෝග අවශේෂයන් පසට එකතු කිරීම කෙරෙනවා.
- මේ සඳහා සුදුසු අවස්ථාව කුමක් ද ?
බෝග පිහිටුවීමට දින 7-10 කට පෙර සිදු කළ යුතුයි.

- ද්විතියික බිම් සැකසීමට භාවිතා කරනු ලබන තාක්ෂණ මොනවාද ?
දෙහීයේ දී රොටරිය භාවිතා කළ හැකියි. පළමු හීයෙන් පෙරළා ගත් පස් පිඩලි කැට කුඩු වෙන ලෙස තමයි රොටරිය යොදා ගත යුතු වන්නේ. ප්‍රාථමික බිම් සැකසීමට විරුද්ධ දිශානතියකින් (හරස් අතට) බිම් සැකසීම කළ යුතුයි. එහිදී පස් කැඩ කුඩා වෙලා හොඳට බිම් සැකසිමක් වෙනවා. රොටරියක් යොදා ගැනීමට නොහැකි නම් කොකු නගුල යොදා ගෙන දෙහීය කළ හැකියි. මෙහි දී පසේ තිබෙන වල්ඇට නිසි පරිදි පස සමඟ කලවම් වීම තුළින් ඒවා විනාශ වීම, පසේ ඇති කාබනික ද්‍රව්‍ය පස සමඟ නිවැරදිව මුසු වීම සිදුවෙනවා. ඒ අනුව වී වගාවට සුදුසු පරිසරයක් සහිතව පස සකස් කිරීමක් සිදුවෙනවා.
- විශේෂ අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු මොනවා ද ?
පළමු බිම් සැකසීම නිවැරදි කරනවා නම් නියරවල් රැහැලා තියා ගත යුතුයි. මේ ආකාරයෙන් රැහැලා තිබෙන නියවරවල් දෙවැනි බිම් සැකසීමේ දී මඩ තබා නිවැරදිව සකස් කළ යුතුයි. පළමු හීයේ හී කැටවලින් අඩක් පමණ වැසී යන ආකාරයට වතුර බැඳ තිබුණත් දෙහීයේ දී, සම්පූර්ණයෙන් හී කැට වැසෙන ආකාරයට වතුර බැඳලා දවස් 5-7ක් තැබිය යුතුයි. එසේ කළ විට හී කැට, මඩ කුඩු වෙලා තුන් වැනි හීයට, බිම් සැකසීමට යා හැකියි. ද්විතියික බිම් සැකසීමට අමතරව නියර මඩ තැබීම, අලුත්වැඩියා කිරීම සහ නැවත සකස් කිරීම කළ යුතුයි. කොම්පෝස්ට්, ගව හෝ කුකුල් පොහොර සහ අර්ධ වශයෙන් පිළිස්සූ වී පොතු පසට ඒකාබද්ධ කළ යුතුයි.
- තෘතියික බිම් සකස් කිරීම ( තෙවන හීය /සී සෑම) වැදගත් වෙන්නේ ඇයි ?
පැළ කහවීම, නිසි පරිදි කරල් පැසීම සිදු නොවෙන්නේ කුඹුර නිසි පරිදි ‘මටට්ම්’ කර ගැනීම සිදු නොවන නිසයි. ඒ නිසා තුන්වැනි බිම් සැකසීම ඉතාම වැදගත්. මෙහි දී කරන්නේ ‘මඩ කිරීම සහ මට්ටම් කිරීම’යි. ‘පෝරු ගෑම’ කියලත් මේකට කියනවා. වර්තමානයේ බොහෝ ගොවීන් තෙවතාවක් බිම් සැකසීමක් කරන්නේ නැහැ. මඩ කිරීම සහ පෝරු ගෑම එකට කිරීමට තමයි මෑතක සිට බොහෝ ගොවීන් හුරු වී සිටින්නේ. මේ තත්ත්වය වී වගාවේ අස්වැන්න අඩුවීමට හේතුවී තිබෙනවා.
කුඹුර මඩ කිරීම හෝ මට්ටම් කිරීම, නැතිනම් පෝරු ගෑමට පෙර ‘නියර බැඳ ගැනීම’ කළ යුතුයි. පළමු හීයේ දී නියර රැස්සා, දෙහීයේ දී නියරේ තිබෙන කක්කුටු වළවල් වසා දැමීම වැනි කටයුතු කළා. ඒ අනුව තෙවැනි හීයේ දී නියරට මඩ තියලා (ප්ලාස්ටර් එකක් දැම්මා වාගේ) නිසි පරිදි නියර බැඳ ගන්න පුළුවන් නම් නියැද්දේ තිබෙන ජලය කළමනාකරණය කර ගන්න පුළුවන්. ඒ වගේම නියරේ වල් පැලෑටි වැවීම ආදිය පාලනය කර ගැනීමටත් නිවැරදිව නියර මඩ තැබීම වැදගත් වෙනවා. නමුත් වර්තමානය වන විට නියර බැඳීම පවා නිසි පරිදි නොකරන තත්ත්වයක් තිබෙනවා. වර්තමානයේ බොහෝ ගොවීන් තණකොළ කපන මැෂිමෙන් නියර සුද්ද කරනවා. ඒක කිසිසේත් යහපත් තත්ත්වයක් නො වෙයි.
බිම් සැකසීමේ තුන්වැනි පියවර තමයි තෙවන හීය කියලා කියන්නේ. මේකට බහුලව ‘පෝරු ගැම’ කියලත් භාවිතා කරනවා. මෙහි දී ‘පෝරුව’ කියන සාම්ප්‍රදායික උපකරණය භාවිතා කරනවා. වර්තමානය වන විට බහුලවම රොටරියටම ලෑල්ලක් සවි කරගෙන පෝරු ගෑම කරනවා

- තෙවන හීය කරන්නේ කොහොමද ?
බිම් සැකසීමේ තුන්වැනි පියවර තමයි තෙවන හීය කියලා කියන්නේ. මේකට බහුලව ‘පෝරු ගැම’ කියලත් භාවිතා කරනවා. මෙහි දී ‘පෝරුව’ කියන සාම්ප්‍රදායික උපකරණය භාවිතා කරනවා. වර්තමානය වන විට බහුලවම රොටරියටම ලෑල්ලක් සවි කරගෙන පෝරු ගෑම කරනවා. එසේ කළ නොහැකි නම් ට්‍රැක්ටරයටම ලෑල්ලක් සවි කර ගැනීමෙන් පෝරු ගෑම කරන්න පුළුවන්. මෙහි දී බලාපොරොත්තු වෙන්නේ පස ඒකාකාරීව මට්ටම් කර ගැනීමක්. මෙය නිසි පරිදි කිරීම තුළින් ඒකාකාරී පැළ ගහනයක් ලබා ගැනීමට, බීජ ඒකාකාරීව වපුරා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
පෝරු ගෑම කළ පසු අත් පෝරුව භාවිතා කරලා ‘ඇළමං ඇඳීම’ කළ යුතුයි. වර්තමාන ගොවීන් මේ ගැන එතරම් උනන්දුවක් නොදක්වන බව පේනවා. මෙය වී ශාකයට නිසි පරිදි පසේ පෝෂණය උරා ගැනීමට නොහැකි වීම ආදි ගැටලු ඇති කරනවා. ඒ නිසා කුණු ඇළ සුද්ද කරලා, ලියැද්දෙන් වතුර බස්සන්නත් පුළුවන් වන ආකාරයට ඇළමං නිසි පරිදි හදා ගැනීම වැදගත්. එසේ කළොත් වී වගාව සාර්ථකව සහ ඉහළ අස්වැන්නක් ලැබෙන ආකාරයට කරන්න පුළුවන්. ඒ වගේම පොහාර නිසි පරිදි පැතිරීම, ජලය ඒකාකාරීව ලියැද්ද තුළ රඳවා තබා ගැනීම මේ හරහා සිදුවන හෙයින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා.
මේවා කාලයක් තිස්සේ කළ නිවැරදි දේවල් වුණත් වර්තමානයේ අපේ ගොවීන්ගෙන් මේ පුරුදු ටිකෙන් ටික ඈත් වෙමින් තිබෙනවා. වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ලෙස අපි මේ ගැන යළි යළි අවධාරණය කරන්නේ නිවැරදිව පස සකස් කිරීම ඉහළ අස්වැන්නක් ලබා ගැනීම ඇතුළු ප්‍රතිලාභ ගණනාවක් ගොවීන්ට ලබා දෙන නිසයි.
ඉතිරි කොටස ලබන සතියේ.
සටහන – තුෂාල් විතානගේ – සංස්කාරක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය
















