පොළී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති කළ විශේෂ ප්‍රකාශය

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) දින පැවති සිය රැස්වීමේ දී, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක්  දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කළේය. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (26) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මහ බැංකු අධිපතිවරයා කළ විශේෂ ප්‍රකාශය පහත පළ වේ.

“මහ බැංකුව ගත්ත මුදල් ප්‍රතිපත්තියේ ප්‍රධානතම අරමුණ තමයි, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු එක දිගට 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබුණා. 2026 වර්ෂයේ පළමු සහ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය හා සම්බන්ධ දත්ත දෙස බලන විට පළමු හා දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන ප්‍රවණතාව ඒ ආකාරයෙන්ම සිදුවෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන වගකීමක් තමයි උද්ධමනය පාලනය කිරීම. පසුගිය කාලයේ රටේ උද්ධමනය ගත් විටථ මැදපෙරදිග අර්බුදය ආරම්භ වීමට පෙර 1.5%-2%ක් වැනි අගයක තමයි උද්ධමනය තිබුණේය. නමුත් මැදපෙරදිග යුද්ධය නිසා ඇති වුණ කම්පනය හේතුවෙන් උද්ධමනය 5% දක්වා ඉහළ ගියා.

ඒ සමඟ විනිමය අනුපාතය ඉහළ ගියා. ඒකට හේතු කිහිපයක් බලපෑවා. ප්‍රධාන වශයෙන් ආනයනය ඉල්ලුම ඉහළ යාමත් සමඟ ඩොලරයට ඇති ඉල්ලුම වැඩි වීම නිසා මහ බැංකුව බලාපොරොත්තු වුණාට වඩා වැඩි වේගයකින් විනිමය අනුපාතය ඉහළ ගොස් රුපියල අවප්‍රමාණය වුණා.

නමුත් අපි මේ වන විට යම්කිසි පියවර කිහිපයක් ගෙන රුපියල අවප්‍රමාණය වීම පාලනය කරලා තිබෙන්නේ.  මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) දින පැවති සිය රැස්වීමේ දී, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක්  දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ලබා ගත් ස්ථාවරත්වය එකදිගටම ස්ථාවරව පවත්වා ගෙන යාමට පුළුවන් තත්ත්වයක් ඇතිකර ගැනීමයි. මේ හරහා ආර්ථිකය යම්කිසි ආකාරයක ධනාත්මක වර්ධනයක් ලබා ගන්නා ගමන් උද්ධමනය තනි ඉලක්කමක ස්ථාවරව පවත්වා ගැනීම, ඒ වගේම විදේශ සංචිත අවශ්‍ය ආකාරයට ගොඩනැගීමට පියවර ගැනීමයි.

රජය පැත්තෙන් ගත් විට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඉතාම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙලා, රජයේ ආදායම – වියදම කළමනාකරණය කර ගනිමින් යම්කිසි ආකාරයක ස්ථාවර භාවයකට පැමිණ තිබෙනවා.

මේ ආකාරයෙන් ආර්ථිකය ස්ථාවර තත්ත්වයක තිබියදී තමයි බාහිර කම්පනයක් ආවේ. මෙවැනි බාහිර කම්පනයක් එන විට ඒක කලින් නුදුටුවා වාගේ ආර්ථිකය හසුරවන්න බැහැ, ඒකට යම්කිසි වෙනස්වීමක් විය යුතුයි. ඒ වගේම ඒ වෙනස ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා යම් යම් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට සිදුවෙනවා. ඒ වෙනුවෙන් රජය පසුගිය කාලයේ යම් යම් ප්‍රතිපත්තිමය තීන්දු – තීරණ රැසක් ගත්තා.

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) දින පැවති සිය රැස්වීමේ දී, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75% සිට 8.75%ක්  දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කළේ මේ අතරයි. එක් දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය මේ ආකාරයෙන් වැඩිවීම තුළින් ඉදිරියේ දී යම්කිසි අවධානමක් තිබෙනවා නම් යම්කිසි ආකාරයක අස්ථාවරත්වයක් ඇති වීමට ඒක වැළැක්වීමට තමයි මේ පියවර ගෙන තිබෙන්නේ.

අපට මේ පියවර ගැනීම තුළින් සහතික කරන්න පුළුවන් වෙන්නේ ඉදිරියේදීත් අපි මේ දක්වා පවත්වා ගෙන ආ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගෙන යන බවයි. මේ ස්ථාවරත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යාමට උපකාර වන දෙයක් තමයි මේ මුදල් ප්‍රතිපත්තිය.

පොලී අනුපාතය 8.75%ක් කියලා කියන්නේ 2023 – 24 වර්ෂවලත් තිබුණ අගයක්. ඒ වසර වල එවැනි අගයක් තිබිය දීත් ආර්ථිකය 5%ක් පමණ වර්ධනය වුණා. මේ ගත්ත ක්‍රියාමාර්ගය තුළින් අපි බලාපොරොත්තු වන්නේ අනවශ්‍ය ආකාරයට ඉල්ලුම වැඩි වෙලා, අනවශ්‍ය ආකාරයට ආනයන වර්ධනය වෙලා, අනවශ්‍ය ලෙස විදේශ සංචිතවලට ඇති ඉල්ලුම වැඩි වෙලා සංචිතවලට තිබෙන බලපෑම, විනියම අනුපාතවලට තිබෙන බලපෑම වළක්වා ගෙන මැදි හා දීර්ඝ කාලීන ආකාරයට ආර්ථික ස්ථාවරත්ව පවත්වා ගෙන යාමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමයි. ඒ අනුව ආර්ථිකයේ ස්ථාවරත්වය සහතික කිරීමට හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

ඉදිරියට යන විට යම්කිසි ආකාරයක වෙනසක් සිදු වුණොත් මහ බැංකුව ලෙස අපට ක්‍රියාත්මක කරන්න මීට අමතරව විවිධ ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති සහ උපකරණ තිබෙනවා. ඒ වගේම රජයටත් යම්කිසි විශේෂ දේවල් තිබෙනවා. නමුත් මම විශ්වාස කරන ආකාරයට එතරම් දුර යන පියවර ගැනීමක් අවශ්‍ය නැහැ. මේ ස්ථාවරත්වය දිගටම පවත්වා ගෙන යාමට පුළුවන්. අවශ්‍ය වුණොත් ක්‍රියාත්මක කළ හැකි තවත් ප්‍රතිපත්ති මහ බැංකුව සතුව තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් ඇතිවෙයි කියලා මම හිතන්නේ නැහැ. ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය දිගටම පවත්වා ගෙන යාමට මේ ගත්ත ක්‍රියාමාර්ග ප්‍රමාණවත් වෙයි කියලා මම හිතනවා” මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website