වෙසක් දන්සැල් සඳහා මහජනතාව යොමු කිරීම සඳහා බෞද්ධ කොඩි භාවිතා නොකරන ලෙස දන්සැල් සංවිධායකයින්ට උපදෙස් දෙමින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා පැවසුවේ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් දැනටමත් කැබිනට් අනුමැතිය සහිතව නිකුත් කර ඇති බවයි.
“බෞද්ධ කොඩි භාවිතා කර දන්සැල් සඳහා ජනතාව යොමු නොකරන ලෙසත්, ඒ සඳහා කහ කොඩි භාවිතා කරන ලෙසත් අපි චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, බෞද්ධ ආගමික සභා සහ පොලිස්පතිවරයාට මෙම නියෝගය පිළිබඳව දැනුම් දී තිබෙනවා. දන්සැල් පමණක් නොව, වෙසක් උත්සවයේ ආගමික වැදගත්කමට නොගැලපෙන ඇතැම් නුසුදුසු පිළිවෙත් සහ පූජාවන් නියාමනය කිරීම සඳහා විශේෂ උපදෙස් ද චක්‍රලේඛයට ඇතුළත් කර තිබෙනවා,” ඔහු වැඩි දුරටත් පැවසුවේය.














