ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා (Control Union Sri Lanka) ආයතනය එක්ව, යුරෝපා සංගමයේ වන විනාශය වැළැක්වීමේ රෙගුලාසි (EUDR) පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පවත්වන ලදී. මෙහි ප්‍රධාන අවධානය යොමු වූයේ මෙරට කෝපි සහ දැව ආශ්රිත නිෂ්පාදන අපනයනය සඳහා පවතින සූදානම පිළිබඳවයි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූ අතර, එහිදී විෂය ප්‍රවීණ ඔෂධ කුමාරසිරි මහතා විසින් මෙම නව රෙගුලාසියේ විශේෂ අවශ්‍යතා සහ එහි බලපෑම පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කරන ලදී.
යුරෝපා සංගමය විසින් හඳුන්වා දී ඇති මෙම EUDR රෙගුලාසිය මගින් අපේක්ෂා කරන්නේ යුරෝපා වෙළඳපොළට ඇතුළු වන නිෂ්පාදන වන විනාශයට හෝ වනාන්තර හායනයට දායක නොවන බව සහතික කිරීමයි. ඒ අනුව, අදාළ සමාගම් විසින් තම සැපයුම් දාමයන් වන විනාශයෙන් තොර, නීත්‍යානුකූල සහ සම්පූර්ණයෙන්ම සොයාගත හැකි (fully traceable) මූලාශ්‍රවලින් සමන්විත බව ඔප්පු කළ යුතුය.
ගෝලීය වෙළඳපොළ තිරසාර සහ සදාචාරාත්මක මූලාශ්‍ර වෙත යොමු වන බැවින්, මෙම රෙගුලාසිවලට අනුගත වීම ශ්‍රී ලාංකීය කෝපි උසස් තත්ත්වයේ සහ තිරසාර නිෂ්පාදනයක් ලෙස ජාත්‍යන්තරයේ ප්‍රවර්ධනය කිරීමට මහඟු අවස්ථාවක් සපයයි. එසේම, ගෘහ භාණ්ඩ සහ අත්කම් නිර්මාණ ඇතුළු මෙරට දැව කර්මාන්තය සඳහා ද මෙම අනුකූලතාවය ප්‍රදර්ශනය කිරීම හරහා යුරෝපා සංගම් වෙළඳපොළට ඇති ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කරගත හැකිය.
2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් සපුරා ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණක් වන අතර, මෙවැනි ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුගත වීම සහ ඒ පිළිබඳ ප්‍රායෝගික පියවර ගැනීම එම ඉලක්කය කරා යාමට අත්‍යවශ්‍ය වේ.















