Free Lawyers ගල් අඟුරු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ විස්තර ඉල්ලයි

ෆ්‍රී ලෝයර්ස් සංවිධානය (Free Lawyers’ Association) අද (14) ගල් අඟුරු ආනයනය හා බලශක්ති ජනනය සම්බන්ධ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන මහතා වෙත ලිපියක් යොමු කරමින්, කොමිෂන් සභාවේ කාර්ය නියමයන් සහ කාර්ය පටිපාටිය පිළිබඳ විස්තර ඉල්ලා තිබේ.

2009 වසරේ සිට මෙතෙක් සිදුවූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට පත් කර ඇති මෙම කොමිෂන් සභාවට සිවිල් සමාජ සංවිධානයක් ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම් වන බව සඳහන් කරමින්, සංවිධානය මෙම ඉල්ලීම කර තිබේ.

ලිපියේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පෙන්වා දී ඇත්තේ, මහජන විශ්වාසය, පාරදෘශ්‍යභාවය, ස්වාධීනත්වය සහ සාධාරණ ක්‍රියාපටිපාටිය ආරක්ෂා කරමින් කොමිෂන් සභාව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි. එම නිසා කොමිෂන් සභාවේ නිල කාර්ය නියමයන් (Terms of Reference), කාර්ය පටිපාටිය (Rules of Procedure), විමර්ශන ක්‍රියාවලිය, නීතිඥ නියෝජනය, සාක්ෂිකරුවන්ගේ හිමිකම්, විභාග මහජන ප්‍රවේශය ඇතුළු කරුණු පිළිබඳව පැහැදිලි තොරතුරු ඉල්ලා තිබේ.

Free Lawyers සංවිධානයේ විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ ප්‍රකාශ කළේය:

“මෙම කොමිෂන් සභාවේ විමර්ශනය සාධාරණව සහ විනිවිදභාවයෙන් යුතුව සිදුවිය යුතුය. එවැනි විමර්ශනයකට සිවිල් සමාජයේ සහ නීතිඥවරුන්ගේ සහාය ලැබීම වැදගත් බව අපි විශ්වාස කරනවා. කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගෙන, රටේ ජනතාව වෙනුවෙන් අපට තිබෙන තොරතුරු සහ සාක්ෂි නිසි ආකාරයට ඉදිරිපත් කිරීමට අපි අපේක්ෂා කරනවා.”

මෙම තොරතුරු දින 7ක් ඇතුළත ලබාදෙන ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් ඉල්ලා ඇති අතර, ඉන් පසු කොමිෂන් සභාවට සිය ලේඛනගත කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website