රුසියානු – යුක්ක්‍රේන යුද්ධය අවසන් වෙමින් පවති බව ජනපති පුටින් කියයි

දෙවන ලෝක යුද්ධයේ සෝවියට් ජයග්‍රහණය සනිටුහන් කරමින් මොස්කව්හි පැවති හමුදා පෙළපාලියකින් පසු මාධ්‍යවේදීන් අමතමින් ‘රුසියාව සහ යුක්රේනය අතර ගැටුම අවසන් වෙමින් පවතින බව තමා සිතන බව’ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේය.

ඩ්‍රෝන යානා මගින් යුක්රේනය රතු චතුරශ්‍රය ඉලක්ක කර ගනු ඇතැයි බලධාරීන් බිය වූ බැවින් සහ ආරක්ෂක ගැටලු හේතුවෙන් රුසියාවේ වාර්ෂික පෙළපාළියේ සුපුරුදු පරිදි  යුධ ටැංකි සහ මිසයිල ප්‍රදර්ශනය නොවීය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් මොස්කව් සහ කියෙව් අතර අවසන් මොහොතේ ඇති වූ සටන් විරාමය, ඕනෑම ප්‍රහාරයක අවදානම අඩු කළ අතර පෙළපාළිය කිසිදු සිදුවීමකින් තොරව අවසන් විය.

යුද්ධය සාධාරණීකරණය කිරීම සඳහා තම ජයග්‍රාහී දින කතාව භාවිතා කිරීමෙන් පැය කිහිපයකට පසු පුටින්ගේ අදහස් පළ විය.

එම කතාවේදී ඔහු රුසියාව “සාධාරණ” යුද්ධයක නිරත වන බවත් යුක්රේනය “නේටෝ කණ්ඩායමේ සන්නද්ධ සහාය ලබන ආක්‍රමණශීලී බලවේගයක්” ලෙසත් හැඳින්වීය.

පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පුටින් මෙසේ පැවසීය: “ඔවුන් (බටහිර)  යුක්ක්‍රේනයට ආධාර පොරොන්දු වූ අතර පසුව රුසියාව සමඟ ගැටුමක් ඇති කර ගැනීමට අනුබල දුන්නේය. නමුත් දැන් කාරණය අවසන් වෙමින් පවතින බව මම සිතනවා, නමුත් එය බරපතල කාරණයක්”.

රුසියානු හමුදා 2014 දී ක්‍රිමියාව සහ නැගෙනහිර යුක්රේනයේ සමහර කොටස් අල්ලා ගත් අතර, පසුව 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කළේය.

කල්පවත්නා සාම ගිවිසුමකට එකඟ වූ පසු පමණක් යුක්රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවන බව පුටින් පැවසීය.

“තුන්වන රටක සාම සාකච්ඡා කළ හැකි නමුත්, දිගුකාලීන ඓතිහාසික ඉදිරි දර්ශනයක් සඳහා සාම ගිවිසුමක් අවශ්‍යයි. සාම ගිවිසුම අවසාන පියවරක් විය යුතුයි” පුටින් තවදුරටත් පැවසීය.

බීබීසී ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website