වත්මන් ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 128 හි වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණ පවත්වන බවට ප්‍රතිඥා දී ඇතත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවංක සූදානමක් ආණ්ඩුවට නොමැති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ය.
පළාත් සභා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවේය.
මෙහි දි ඔහු වැඩි දුරටත් රජයෙන් ඉල්ලා සිටියේ මෙම කමිටු නිසා තවදුරටත් සිදුවන ප්‍රමාදයන් නවතා, දැනටමත් සකස් කර ඇති පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීමෙන් අවශ්‍ය නීති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.
මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේ ද පැවසුවේය, “අවසන් වරට පළාත් සභා මැතිවරණයක් පවත්වන්නේ 2014 දී, ඌව පළාත් සභා මැතිවරණය. වර්තමාන ආණ්ඩුවත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව කල් මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව තමයි අපට මේ වන විට නිරීක්ෂණය වෙන්නේ.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 128 වැනි පිටුවේ ඉතාම පැහැදිලිව සටහන් කරලා තිබෙනවා වසරක් තුළ පළාත් පාලන මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් පවත්වලා අවසන් කරනවා කියලා.
අපි දන්නවා මේ කාලය තුළ විවිධ අභියෝගයන් තිබුණා, ප්‍රමුඛතාවන් වෙනස් වුණා, දිට්වා සුළි කුණාටුවත් එක්ක ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ඒ දෙස යොමු කිරීමට සිදු වුණා. ඒ එක්කම මැදපෙරදිග අර්බුදය ආදි බාහිර දේවල් සිදු වුණා. මේ සියල්ලට යටත්ව මේ වන විට මාස 18කට වඩා වැඩි තුළ වර්තමාන ආණ්ඩුවටත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවංක සූදානමක් පේන්නට නැහැ.
පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කුමන ආකාරයට ද යන්න පිළිබඳ කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තා. මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. නමුත් අපි තවමත් දන්නේ නැහැ කමිටු වාර්තාවේ තීන්දුව කුමක් ද කියලා. නමුත් අපට නිරීක්ෂණ වන කාරණය තමයි මේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වෙන්නේ දේශපාලනික තීන්දුවක්. මේක තාක්ෂණික කරුණු මත දිගින් දිගටම කල් දැමීම තමයි ඉතිහාසය පුරාම සිදු වුණේ. මේ වන විට ආණ්ඩු තුනක් මේ තාක්ෂණික කාරණය පළාත් සභා මැතිවරණය කල් දැමීමට මෙවලමක් හැටියට පාවිච්චි කළා. මේ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම කමිටු නිසා තවදුරටත් සිදුවන ප්‍රමාදයන් නවතා, දැනටමත් සකස් කර ඇති පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීමෙන් අවශ්‍ය නීති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි, ” රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.















