විදේශගත ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙන මෙරට පුරවැසියන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන නීති සම්පාදනය කළ යුතු බව මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.
ඔහු පැවසුවේ යුද්ධය පැවැති සමයේ අවතැන් පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දුන් ක්‍රමවේදයම මෙහි දී ද ක්‍රියාත්මක කළ හැකි බවයි.
අද (05) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී සිය ස්ථාවරය පැහැදිලි කරමින් මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
“විදේශගත ශ්‍රමිකයින්ගේ, නැතිනම් විදේශගත පුරවැසියන්ගේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම තිබෙන අයට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ රජය විසින් පත් කළ කමිටු වාර්තාවක් භාර දීලා තිබෙනවා.
මෙම කමිටුවට අපි දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරලා තිබෙනවා. අපි කියලා තියෙන්නේ ‘ඒක ප්‍රතිපත්තියක් හැටියට හරි, නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම බරපතළ ගැටලු සහගතයි කියලා.
නමුත් මැතිවරණ නීති මීට වඩා කඩිනමින් වෙනස් කළ යුතු ඒවා. වෙනස් කළ යුතු වැදගත්ම නීති කිහිපයක්ම තිබෙනවා. ලංකාවේ ඉන්න, නමුත් මැතිවරණ දිනයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන අයට ඡන්දය දීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ කියන්නේ ඡන්දයට දවසකට කලින් හෝ ඡන්දය ප්‍රකාශ කරන දිනයේ දී හෝ ගමට නොගිහින් තමන් රැකියාව කරන ස්ථානයේ දී හෝ තමන් රැඳී සිටින ස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩපිළිවෙළක් හදන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්.
මීට කලකට පෙර තිබුණා අවතැන් අයට, යාපනයේ අයට, මුලතිව් අයට, මන්නාරමේ අයට කොළඹ දී, පුත්තලමේ දී හෝ වෙනත් තැනක ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළම තවමත් පවත්වලා තිබෙනවා. ඡන්ද පොළට යාමට ඇති බය නිසා ඡන්දය දාන්න වෙනත් තැනක් ඉල්ලනවා වාගේ රැකියාවේ නිරත වීමේ දී තිබෙන අපහසුතාව නිසා ඡන්ද පොළට යාමට නොහැකි අයට ඡන්ද පොළක් ලබාදීම පහසුවෙන් කරන්න පුළුවන්”.















