අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අගමැති හරිනිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

2026 පළමු ශ්‍රේණියට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවත්, 2027 වසරේ 6 වන ශ්‍රේණියට ද එය හඳුන්වා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවාය.

“2025 වර්ෂයේ උසස් පෙළ සඳහා පෙනී සිටි අයදුම්කරුවන්   2,21,413යි,. පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන්ගේ ප්‍රතිශතයක් ලෙස එය 65.29%ක්. 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා  3,17,326ක් පෙනී සිටියා. එය පළමු ශ්‍රේණියට ඇතුළත් වූ පිරිසෙන් ප්‍රතිශතයක් ලෙස 93.57%ක්. 2023 සාමාන්‍ය පෙළ සඳහා 3,22,537ක් පෙනී සිටියා. එය පළමු ශ්‍රේණියට ඇතුළත් වූ පිරිසෙන් ප්‍රතිශතයක් ලෙස 92.08%ක්. 2024 වර්ෂයේ සාමාන්‍ය පෙළ සඳහා 3,22,704ක් පෙනී සිටියා එය පළමු ශ්‍රේණියට ඇතුළත් වූ පිරිසෙන් 95.15%ක්.

2026 පළමු ශ්‍රේණියට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව කරගෙන යනවා. 2027 වසරේ 6 වන ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා. ඊට අදාළ විෂය කමිටු පත් කරලා, මොඩියුල සමාලෝචනය කරලා. අවශ්‍ය වෙනස් කම් සාකච්ඡා කරලා ඒ සියල්ල දැන් අවසානයි. මේ මාසය තුළ ඒ මොඩියුල් මුද්‍රණය කරන්න කටයුතු කරනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය ගුරු පුහුණුවත් ජුනි මාසයේ ආරම්භ කරනවා. ඒ සඳහා මුදල් වෙන් කර අවසන්. 2027 දෙවන ශ්‍රේණියටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන ආරම්භ කරනවා. ඒ සඳහා අවශ්‍ය මොඩියුල් මුද්‍රණය කරන්න ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ජාතික මෙහෙයුම් කමිටුවක් අපි පත් කර තිබෙනවා. ඒ කමිටුවේ අධීක්ෂණය යටතේ තමයි මේ සියල්ල සිදු වෙන්නේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනත් ජූලි, අගෝස්තු වනවිට ආරම්භ කරනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට බාධාවක් එල්ලවෙනවා නම් එල්ල වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුලකට පත්කරලා ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න අරමුණින් මැදිහත් වුණොත් පමණයි. ඒ වගේම ලෝක බැංකුවේ අධාර මේ ප්‍රතිසංස්කරණ සඳහා ලැබී නැහැ” අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website