නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී / NDB තුළ සිදුවූ අභ්‍යන්තර වංචාව හෙළිදරව් වීමෙන් අනතුරුව, එම බැංකුවේ කටයුතුවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.
මෙතෙක් සිදු කරන ලද ඇගයීම්වලට අනුව, නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින් සිය ප්රාග්ධනය සහ ද්‍රවශීලතාවය සම්බන්ධ මට්ටම්, අවම නියාමන අවශ්‍යතා ඉක්මවා අඛණ්ඩව පවත්වාගෙන යන බවට නිරීක්ෂණය වේ. විශේෂයෙන්ම, මෙම සිදුවීම හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට හෝ තැන්පතුවලට බලපෑමක් සිදු වී නොමැති අතර ඒවා සුරක්ෂිතව පවතී.
මෙම සිදුවීම සම්බන්ධයෙන්, නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී සහ අදාළ පාර්ශවකරුවන් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව සමීපව සහ අඛණ්ඩව කටයුතු කරනු ලබයි. නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සීහි ස්ථාවරභාවය සහ එහි තැන්පතුවල සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සඳහා, අවශ්‍ය වූවහොත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත.















