විදේශීය සමාගම් විසින් ශ්‍රී ලංකාව තුළ සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා සියයට 18ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීම ජූලි 1 වන දින දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ, නීති සංග්‍රහයට සිදු කිරීමට නියමිත නිල සංශෝධන සහ තොරතුරු තාක්ෂණ සමාගම් විසින් මතු කරන ලද ගැටලු සැලකිල්ලට ගනිමිනි.
විද්‍යුත් වාණිජ්‍යය, ඩිජිටල් අලෙවිකරණය, සයිබර් ආරක්ෂාව, තොරතුරු තාක්ෂණ සහාය සේවා සහ මූල්‍ය තාක්ෂණය වැනි සේවාවන් මෙම බදු ජාලය යටතට ගෙන එනු ඇත.
මෙම බද්ද මුලින් පසුගිය වසරේ ඔක්තෝබර් 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. පසුව එය අප්‍රේල් 1 වන දින දක්වා කල් දමන ලද අතර දැන් එය දෙවන වරටත් ජූලි 1 වන දින දක්වා දීර්ඝ කර ඇත.
මෙම බද්ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මක කළහොත්, ඩිජිටල් සේවාවන් සඳහා බදු පනවන ලෝකයේ රටවල් 120 අතරට ශ්‍රී ලංකාව ද එක්වනු ඇත.
මෙම බද්දේ සීමාවන් සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ කර්මාන්තය විසින් මතු කරන ලද සැකයන් සඳහා පැහැදිලි කිරීමක් ලබා දීමෙන් පසුව පමණක් මෙය ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.












