ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු ගෞරවනීය භික්ෂූන්වහන්සේගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in Sri Lanka’ නමින් පැවැත්වීමට නියමිත සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් ආචාර්ය පූජ්‍ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පස්වරුවේ පැවැත්විණි.
මෙම ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමන වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන්වහන්සේ දොළොස් නමක් මේ මස 21වන දා මෙරටට වැඩම කිරීමට නියමිත අතර, අප්‍රේල් 22වන දා සිට අප්‍රේල් 28 වන දා දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්රමුඛ පිරිස මෙම සාම පාගමනෙහි නිරත වනු ඇත.
අප්‍රේල් 21වන දින ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මෙම සාම පාගමනේ කටයුතු ආරම්භ කෙරෙන අතර අටමස්ථානාධිපති හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද මෙම සාම පාගමනේ වැඩම කරවීමට නියමිතය.
එමෙන්ම, ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වෙත සාමයේ පණිවිඩය ලබා දීම සිදු කෙරේ.
අප්‍රේල් 22වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.
සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේද දායකත්වය යටතේ පැවැත්වීමට නියමිත මෙම සාම පාගමනට එක් වන භික්ෂූන්වහන්සේගේ දානය සහ ගිලන්පස සූදානම් කිරීම, සනීපාරක්ෂක කටයුතු මෙන්ම ආරක්ෂාව සැපයීම ඇතුළු සංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. සේනාධීර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.











