ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධය දැඩි ලෙස විවේචනය කරමින් ජර්මානු ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් කියා සිටියේ ගැටුමෙන් පිටවීමේ පැහැදිලි උපාය මාර්ගයක් එක්සත් ජනපදයට හෝ ඊශ්‍රායලයට නොමැති බවයි.
“ඒ යුද්ධය ගැන මට වඩාත්ම කනස්සල්ලට කරුණ නම් උපදේශනයක් නොතිබීම, උපාය මාර්ගයක් නොතිබීම, පැහැදිලි අරමුණක් නොතිබීම සහ මගේ දෘෂ්ටිකෝණයෙන් නරකම දෙය නම් පිටවීමේ උපාය මාර්ගයක් නොමැති වීමයි,” ඔහු පැවසීය.
“මෙම යුද්ධය ලෝක ආර්ථිකයට ව්‍යසනයක්. සති දෙකකටත් වැඩි කාලයකට පසු එහි ප්‍රතිවිපාක දැනටමත් පැහැදිලියි. අපෙන් කලින් උපදෙස් ගෙන නැහැ. එය අපගේ යුද්ධයක් නොවේ. ඒ නිසා අපිව මෙම යුද්ධයට ඇද දැමීමට අවශ්‍ය නැහැ,” ඔහු තවදුරටත් පැවසීය.
“හැකි ඉක්මනින්” රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් අවශ්‍ය බව පිස්ටෝරියස් අවධාරණය කළේය.
මැදපෙරදිග අස්ථාවරත්වය මුළු ලෝකයටම ප්‍රතිවිපාක ඇති කරන බවට ඔහු අනතුරු ඇඟවීය.
“ඒ නිසා අපි ඕනෑම සාමයක් සුරක්ෂිත කිරීමට සූදානම්. අපි සටන් විරාමයකට එළඹුනහොත්, සාමය සුරක්ෂිත කිරීම සඳහා වන ඕනෑම මෙහෙවරක් ගැන අපි සාකච්ඡා කරන්නෙමු, විශේෂයෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ නිදහස් සමුද්‍රීය ගමනාගමනය සහතික කිරීම ගැන.”
ඉරානයේ පවතින යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වේගවත් කිරීමේ කාලය පැමිණ ඇති බව ඔහු පැවසීය.
මූලාශ්‍රය – TRT World















