
ගෝලීය යුද තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ ගොස් ඇති බැවින්, අනාගතයේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල අනතුරු ඇඟවීය.
පෙබරවාරි මැද භාගයේදී ඩොලර් 60ක් වූ ඉන්ධන බැරලයක මිල මාසයක් ඇතුළත ඩොලර් 100 දක්වා ළඟා වී ඇති බවත්, එය සියයට 58ක මිල වැඩිවීමක් බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම ගෝලීය අර්බුදය හේතුවෙන් බොහෝ රටවල් ඉන්ධන මිල සියයට 110 සිට 170 දක්වා වැඩි කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට එහි බලපෑම නොවැළැක්විය හැකි බව ද මහාචාර්ටවරයා පැවසුවේය.
වර්තමාන අර්බුදය අතීතයේ පැවති ආර්ථික ගැටලු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බව පැහැදිලි කළ ඔහු, අතීතයේ දී ඉන්ධන ආනයනය කිරීමට විදේශ විනිමය සංචිත නොමැතිකම හිඟයට හේතුව වූ නමුත් දැන් මුදල් තිබුණත්, ලෝක වෙළඳපොළේ සැපයුම් හිඟය සහ ප්‍රවාහන අභියෝග හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම ප්‍රධාන අභියෝගයක් වී ඇති බව සඳහන් කළේය. ෙ
ලෝකයේ බලශක්ති සැපයුමෙන් සියයට 25ක් පමණ වත්මන් යුද තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බැවින්, මෙය ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයකට පමණක් විසඳිය නොහැකි ජාත්‍යන්තර ගැටලුවක් බවට පත්ව ඇති බව ද මහාචාර්ය අතුකෝරාළ පෙන්වා දුන්නේය. මෙම දුෂ්කර තත්ත්වයට මුහුණ දීම සඳහා රජය නැවත හඳුන්වා දී ඇති QR කේත පදනම් කරගත් ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමය ඵලදායී අධීක්ෂණ පියවරක් බව ද ඔහු පැවසුවේය.
මේ හරහා ඉන්ධන පරිභෝජනය පාලනය කළ හැකි අතර පවතින සම්පත් නිසි ලෙස කළමනාකරණය කළ හැකි බවට ඔහු බලාපොරොත්තුව පළ කළේය.
වත්මන් යථාර්ථය අවබෝධ කරගෙන වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්, අනවශ්‍ය ඉන්ධන පරිභෝජනයෙන් වැළකී අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙසත් ඔහු මහජනතාවගෙන් සහ මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය. දේශපාලන වෙනස්කම් ජය ගනිමින් රටක් ලෙස සියලු දෙනා එක්ව කටයුතු නොකළහොත්, අනාගතයේදී ඉන්ධන සහ ගෑස් නොමැති ඉතා නරක තත්වයකට රට තල්ලු කරනු ඇති බවට ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය.















