දිවයිනේ ක්‍රිකට් දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් (DCA) වල සහයෝගයද ලබාගෙන දිස්ත්‍රික් කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ කාන්තා ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 11 වැනිදා සිට අප්‍රේල් 08 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අවුරුදු 19න් පහළ පාසල් වයස් කාණ්ඩය නියෝජනය කිරීමෙන් අනතුරුව පාසල් ක්‍රිකට් ක්ෂේත්රයෙන් ඉවත්වන බාලිකා ක්‍රීඩිකාවන් ධෛර්යමත් කිරීම සහ ඔවුන්ට තවදුරටත් තරඟකාරී මට්ටමින් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තරඟාවලිය පළමු වරට සංවිධානය කරනු ලබයි. එමෙන්ම දිවයින පුරා විසිරී සිටින තරුණ හා දක්ෂ ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වටිනා වේදිකාවක් ලබාදීමද මෙහි ප්‍රධාන අරමුණක් වේ.
දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 25ම සෘජුවම මෙම තරඟාවලියට සම්බන්ධ වන අතර, දේශීය ක්‍රිකට් ව්‍යුහය ශක්තිමත් කිරීමත්, නව ක්‍රීඩිකාවන් හඳුනාගෙන ජාතික මට්ටමට ගෙන ඒමත් මෙහි තවත් අරමුණක් වේ. විශේෂත්වයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය කොළඹ උතුර සහ කොළඹ දකුණ ලෙස කණ්ඩායම් දෙකක් ලෙස තරඟාවලියට එක්වෙයි. ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය තුළ සමස්ත තරඟ 50ක් පැවැත්වීමට නියමිතය.
මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා දිස්ත්‍රික් මට්ටමේ කාන්තා ක්‍රිකට් සංවර්ධනයට වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, රට පුරා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් පුළුල් කිරීමටද මෙය මහත් දායකත්වයක් ලබාදෙනු ඇත.
මෙම තරඟාවලිය නියෝජනය කරන දිස්ත්‍රික් කණ්ඩායම් ලෙස මාතලේ, අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට, මාතර, ගාල්ල, බදුල්ල, මොනරාගල, පුත්තලම, කුරුණෑගල, මන්නාරම, වවුනියාව, රත්නපුර, යාපනය, කිලිනොච්චි, මුලතිව්, අම්පාර, මඩකලපුව, කොළඹ උතුර, කලුතර, කොළඹ දකුණ, ගම්පහ, ත්‍රිකුණාමලය, මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත් වේ.
















