පාස්කු ඉරිදා ප්‍රහාරය: අත්අඩංගුවට ගැනීම් ගැන කතෝලික සභාවෙන් විශේෂ ප්‍රකාශයක්

පාස්කු ඉරුදින ප්‍රහාරය මිනිස් ජීවිත 300ක් අහිමි කළ මිලේච්ඡ ප්‍රහාරයක් සහ සමූහ ඝාතනයක් බවත් පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සහ නොකරන ලෙසත් සිරිල් ගාමිණි පියතුමන් ඉල්ලීමක් කළේය.

අද (26) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ ඉල්ලීම කළේය.

2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මිය ගිය අති බහුතරයක් පාස්කු ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වීමට පැමිණි අය බව සිහිපත් කළ සිරිල් ගාමිණි පියතුමා මිය ගිය අය අතර හැම ආගමකටම, හැම ජාතියකටම අයිති ජනතාවක් සිටින බව ද සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය සොයා ගැනීම යනු මේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා කියලා ඕනෑ කෙනෙකුට අවබෝධ වෙන කාරණයක් බව පෙන්වා දුන් පියතුමා මෙම සත්‍ය සොයා ගැනීමට නොහැකි නම් එය රටේ නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කිරීමක් බව ද අවධාරණය කළේය.

“එහෙම නොවුණොත්, සිද්ධ වෙන්නේ සමහරු නීතියට බය නැහැ කියන එක. යම් අපරාධයක් කරලා සැඟවී ඉන්න පුළුවන් කියන එක. ඒ නිසා අපරාධ කිරීමට බිය නොවීම කියන එක ඒ හරහා ඔප්පු වෙනවා” සිරිල් ගාමිණි පියතුමා පැවසුවේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට යම් යම් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා විට එම අත්අඩංගුවට ගැනීම් විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින් පිටුපස තියෙන න්‍යාය පත්‍රය වටහා ගත හැකි බව කී සිරිල් ගාමිණි පියතුමා මෙම හේතුව මත මෙම පරීක්ෂණ දේශපාලනීකරණය නොකළ යුතු බව ද යළි අවධාරණය කළේය.

“මේක සී.අයි.ඩී එක කරන ස්වාධීන විමර්ශනයක්.  ඒ විමර්ශන ස්වාධීනව කරන්න ඉඩ දෙන එක තමයි හොඳ” උන් වහන්සේ පැවසුවේය.

මෙම විමර්ශන කඩාකප්පල් කරන උත්සහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඝාතනයට පත් වූ සහ ආබාධිත වූ වින්දිතයින්ට එරෙහිව සිදු කරන අසාධාරණයක් ලෙස සැලකිය හැකි බව කී උන් වහන්සේ මෙම විමර්ශනවලට බාධා නොකරන මෙන් සියලු පාර්ශ්වලින් ඉල්ලා සිටින බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website